මම මුස්ලිම් වුණත් බුදු දහම ඉගෙන ගෙන තියෙනවා
බෞද්ධ ජනතාව මෙන් මෛත්‍රී කරුණාව ඇති ජන කොටසක් ලෝකයේ කොහේවත් නොමැති බවත් තමන් මුස්ලිම් භක්තිකයෙක් වුවත් බුදු දහම තුළ ඇති දෑ ඉගෙන ගෙන ඇති බවත් අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවැසීය.
මැද කොළඹ ශාසනාරක්ෂක බල මණ්ඩලය හා ෆයිසර් මුස්තෆා පදනම එක්ව සංවිධානය කළ මැද කොළඹ බල ප්‍රදේශයේ ඇති දහම් පාසැල්වල ගුරුවරුන්ගේ දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීමේ ගුරු පුහුණු වැඩසටහනකදී අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“බුදු දහම බෞද්ධ සංස්කෘතිය මගෙ හදවතට ඉතාමත් කිට්ටුයි. මම මල්වතු හා අස්ගිරිය පන්සල් කේන්ද්‍ර කොට ගෙන මහනුවර දිස්ත්‍රික්කයේ දහම් පාසැල් ගුරුවරුන්ට විශාල වැඩසටහනක් දියත් කළා. බුදු දහම කියන්නේ ජීවන රටාවක් ,එය බෞද්ධයන්ට පමණක් සීමා වූ දෙයක් නොවෙයි.
මම මුස්ලිම් භක්තිකයෙක් වුණත් බුදු දහම තුළ ඇති දේවල් මම ඉගෙන ගෙන තියෙනවා. කවුරු මොනවා කිව්වත් අද ලෝකය දිහා බලන විට බෞද්ධයින් තරම් මෛත්‍රී කරුණාව ඇති ජන කොටසක් කොහෙවත් නෑ.
පොදුවේ ගත් කල මේ රටේ සුළු ජාතීන්ට නිදහසේ ජීවත්වීමට මේ රටේ බෞද්ධ ජනතාව ලබා දී ඇති අවස්ථාව ලෝකයේ කිසිදු රටක නැති බව අප දැන ගතයුතුයි.අද මම තමුන්නාන්සේලා ඉදිරියේ මුස්ලිම් භක්තිකයෙක් හැටියට අද මේ කථාව පවසන්නේ මම මුස්ලිම් පවුලක උපන් නිසා.
අද තමුන්නාන්සේලාගෙන් බහුතරයක් බුදුදහම අදහන්නේ. බෞද්ධ පවුලක උපන් නිසා. ඒ නිසා එසේ ආගම ධර්මය බොහෝ අවස්ථාවලදී උත්පත්තියෙන් ම තීන්දු වූ දෙයක්. මේ රටට අවශ්‍ය මෛත්‍රීය කරුණාව, සහජීවනය. සියළු ජාතීන්හට ඇතුලත් කිරීමේ හැකියාව බෞද්ධ දර්ශනය තුලින් තිබෙනවා”.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
