රත්නපුර මහාධිකරණය විසින් තමන්ට නියම කර තිබෙන මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම් පිළිබඳ විභාගය අද (08) අභියාචනාධිකරණය හමුවේ ආරම්භ වුණි.
නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි එම පෙත්සම් විභාගය පැවැත් වේ.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු විසින් සිය දේශන ඉදිරිපත් කිරීම ආරම්භ කෙරිණි.
අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන 25 වනදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කහවත්තේ පැවති එවක පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට පහර දී පුද්ගලයකු මරා දමා තවත් දෙදෙනෙකු තුවාල කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
එම නඩුව විභාග කළ රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් අදාළ චෝදනාවලට වරදකරු කරමින් ඉකුත් 2020 වසරේ ජුලි මස 31 වෙනිදා විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය නියම කළේය.
තමන්ට මරණීය දණ්ඩනය නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනාවලින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා විසින් අභියාචනාධිකරණය හමුවේ එම අභියාචනා ගොනුකර තිබේ.