මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සක්‍රීය දායකත්වය ලබා ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති තීරණයට තමන් විරුද්ධ බවත් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් පොලීසියේදී විවිධ අමානුෂික වදහිංසාවලට ලක්වන අතර එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසූ අමාත්‍යවරයා, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට බොරු චෝදනා නගා සිරගත කරනු ලබන ඇතැම් පුද්ගලයන්ට පොලීසිය විවිධ වදහිංසා පමුණු වන බවත් එසේ සිදු කරන්නේ ඔවුනගෙන් කප්පම් ලබා ගැනීමේ වුවමනාව මත බවත් ප්‍රකාශ කළේය.
පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයන් ඉන් පිටතට ගෙන ගොස් නඩු නොමැතිව ඝාතනයට ලක්වීම් සිදුවන බවත් එය සම්පුර්ණයෙන්ම අමානුෂික හා මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ තත්ත්වයක් බවත් එවැනි දේ ගෝඨාභය රාජපක්ෂ සමයේ සිදුවූ කටයුතු බවත් පැවසීය.
කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සක්‍රීය දායකත්වය ලබා ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති තීරණයට තමන් විරෝධය දක්වන බවත් එය හමුදාවේ රාජකාරියක් නොවන බවත් එය පොලීසියට අයත් කටයුත්තක් බව අවධාරණය කරන ෆොන්සේකා මහතා පොලීසියේ කාර්යය කුමක්දැයි එහිදී ප්‍රශ්න කර සිටියේය.
