"අපගේ රට දිහා බැලුවම යුක්තිය, සංහිඳියාව සහ රාජ්‍යයේ සුජාතභාවයේ ලිට්මස් පරීක්ෂාව විදිහටත් භාෂාව හඳුන්වන්න පුළුවන් කෙනෙකුට තමන්ට සමීපතම භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමට හෝ ඇසීමට ඇති අවස්ථා නැති නම් එයින් හැඟවෙන්නේ එම සමාජයේ මනුෂ්‍යත්වය ප්‍රතික්ෂේප කිරීමක් ලෙසයි" යැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය භාෂා සතිය අවසානයේ පැවති සමාප්ති උළෙලට අද (07) දිනයේ සහභාගී වෙමිනි.
අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යාංයේ උපදෙස් පරිදි රාජ්‍ය භාෂා සතිය 2025.07.01 දිනෙන් ආරම්භ වූ අතර ඒ් යටතේ සංවිධානය කර තිබූ වැඩසටහන් රැසක් අවසන් කරමින් එහි සමාප්ති උත්සවය අද (2024.07.07) දින ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ගරු අධීකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ජාතික ඒ්කාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆ්ෆර් යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වුණි.
"භාෂාව තාක්ෂණික කාරණයක් නොවන බව මම අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම සන්නිවේදන මාධ්‍යයකට වඩා වැඩි තේරුමක් භාෂාව මගින් නිරූපනය වෙනවා. භාෂාව කියන්නේ පුද්ගලයෙකුගේ අනන්‍යතාවයේ හදවතයි. ඒ වගේම මතකයේ හඩයි. ගෞරවයේ රිද්මයයි. චින්තනයේ ගෘහ නිර්මාණ ශිල්පයයි. අපගේ රට දිහා බැලුවම යුක්තිය, සංහිඳියාව සහ රාජ්‍යයේ සුජාතභාවයේ ලිට්මස් පරීක්ෂාව විදිහටත් භාෂාව හඳුන්වන්න පුළුවන්.
භාෂාව ගැඹුරු චිත්තවේගීය කාරණාවක්. කෙනෙකුට තමන්ට සමීපතම භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමට හෝ ඇසීමට ඇති අවස්ථා නැති නම් එයින් හැඟවෙන්නේ එම සමාජයේ මනුෂ්‍යත්වය ප්‍රතික්ෂේප කිරීමක්. යටිතල පහසුකම් ලබාදීමෙන් හෝ සටන් පාඨ හරහා පමණක් ජාතික ඒකාබද්ධතාවය සාක්ෂාත් කරගත නොහැකි වන්නේ මේ නිසයි. ජාතීන් අතර සංහිඳියාව ඇති වන්නේ භාෂා ප්‍රතිපත්ති, භාවිතයන් බවට පත්කිරීමෙනුයි.
අපගේ ඉතිහාසය දිහා හැරිලා බැලුවම, භාෂා අයිතිවාසිකම්වලට ගරු කිරීමට අපොහොසත් වීම කුඩා වැරැද්දක් නොවන බව අප කිසි විටෙකත් අමතක නොකළ යුතුයි. එය විශාල අසාධාරණයක් ඇති කළා පමණක් නොවෙයි ජාතීන් අතර අවිශ්වාසය, අසමගිය සහ අවසානයේ ආයුධ සන්නද්ධ ගැටුමකට පවා දායක වූ සංසිද්ධියක් වුණා. මේ පාඩම හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඉතිහාසය පුනරාවර්තනය වීම අනිවාර්යයයි. ඒ නිසා එය අප නැවත නොකළ යුතු උගත් පාඩමක් විදිහට සැබෑ ගැඹුරකින් වටහාගෙන කටයුතු කළ යුතුයි. මේ අර්ථයෙන් භාෂාව සාමය සඳහා වූ සිතුවිල්ලක් පමණක් නෙවෙයි සාමයේ පදනම භාෂාව යි.
සමානාත්මතාවය නොමැතිව කල් පවතින සාමයක් තිබිය නොහැකියි. රාජ්‍යය තම ජනතාවගේ භාෂාවට ගරු කිරීමට අපොහොසත් වුවහොත් සමානාත්මතාවයක් ඇති වන්නේ නැහැ. අපි ඒක තේරුම් අරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. එළැඹෙන ඔක්තෝබර් මස සිට සියළු ග්‍රාම සේවා කොට්ඨාශ මඟින් අයදුම්පත් භාෂා දෙකෙන්ම නිකුත් කිරීමට කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂා ලෙසත් ඉංග්‍රීසි සම්බන්ධීකරණ භාෂාවක් ලෙස පිළිගෙන තිබෙනවා. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත මගින් ශක්තිමත් නීතිමය පදනමක් සකස්කර තිබෙනවා. කෙසේ වෙතත්, භාෂා අයිතීන් සම්බන්ධව නීතිමය පිළිගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. කඩදාසි මත ඇති අයිතිවාසිකම් ජනතාවගේ ජීවිත වල යථාර්ථයන් බවට පත්විය යුතු බවත්, අමාත්‍යතුමා සඳහන් කලේය.