බේරුවල ධීවර වරාය විවෘත කර මත්ස්‍ය තොග සහ සිල්ලර වෙළදාම සිදු කර තම ජීවිකාව කර ගැනීමට ඉඩ සලසන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා බේරුවල ධීවර වරායේ ධීවර වෙළඳාම සිදු කරන ධීවරයන් පිරිසක් ධීවර වරාය ඉදිරිපිට මහාමාර්ගයේ බිම ඉඳගෙන උද්ඝෝෂණයක නිරත විය.
උද්ඝෝෂණයට එක් වූ ධීවරයන් කියා සිටියේ තම අඹු දරුවන් මේ වන විට කුසගින්නේ සිටින බවත්, විදුලි ,ජල, දුරකථන බිල්පත් ගෙවා ගන්න විදිහක් නොමැති බවත් හා ඔවුන් වෙන දන්න රැකියාවක් ද නොමැති බවත් ය.
මෙලෙස ආදී කරුණු කියමින් (21) වන දින අලුයම 5.00 ට පමණ විරෝධතාවය ආරම්භ කරමින් කියා සිටියහ.
එම විරෝධතාකරුවන් ධීවර වරාය ඉදිරියේ සිදුකර උද්ඝෝෂණය හමුවට පැමිණි බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පද්මකුමාර මහතා කියා සිටියේ දිසාපතිවරයාගේ හා සෞඛ්‍ය අංශ සම්බන්ධ කර මෙයට විසඳුමක් ලබා දෙන තෙක් විරෝධතාවය නතර කරන ලෙසය. පසුව උද්ඝෝෂණයට එක් වූ ධීවරයන් විරෝධතාවය නතර කර අතර උදෑසන 7 පමණ පොලිස් ස්ථානාධිපතිවරයා සෞඛ්‍ය අංශ නිලධාරීන් සමඟ වරාය පරිශ්‍රයට පැමිණ උද්ඝෝෂණයට එක් වූ ධීවරයන්, වරාය කළමනාකාරීත්වය සමඟ කළ සාකච්ඡාවකින් පසු අද දින සිට සෞඛ්‍ය කොන්දේසි මත බේරුවල ධීවර වරාය විවෘත කිරීමට අවසර ලබා දුන් බව බේරුවල ධීවර වරාය කළමනාකාර එරංග එඩ්වඩ් දයාමාල් මහතා පැවසීය.
එම ධීවරයන්ගේ ඉල්ලීමට කොන්දේසි සහිතව එකඟත්වය පළ කිරීමෙන් පසු ධීවර වරාය අද (22) පෙරවරු 5.00 සිට පෙරවරු 9.00 තෙක් විවෘත කර මත්ස්‍ය වෙළදාම ආරම්භ කළ බවත්, මසුන් මිල දී ගැනීමට යතුරු පැදි ත්‍රිරෝද රථ ඇතුළු රථවාහන 200ක් පමණ අද දින පැමිණ තිබූ බව වරාය කළමනාකාරිත්වය ප්‍රකාශ කළහ.
මේ පිළිබඳ ධීවරයින් කියා සිටියේ වරාය විවෘත වුවද සැලකිය යුතු වෙළදාමක් වූයේ සිදු නොවූ බවත් මේ වන විට බේරුවල ධීවර වරායට පැමිණිය හැක්කේ මසුන් කිලෝ 100ක් දක්වා මිලදී ගන්නා මාළු ව්‍යාපාරික පිරිස් වලට පමණක් බවත් වරාය කළමනාකාරීත්වය සදහන් කළහ.
ධීවර වරාය පරිශ්‍රය තුළ දින හතරකට වරක් අහඹු පී.සී.ආර් පරීක්ෂණයන් සිදු කරන බවත් වරාය කලමණාකාරවරයා වැඩිදුරටත් පැවසීය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා