ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද දින මහජනතාව වෙත නිකුත් කරනු ලැබූ සී 350 ඇමුණුමේ අන්තර්ගතව ඇත්තේ මහ බැංකුවේ නිලධාරීන් හා බාහිර පුද්ගලයන් පැවැත්වූ දුරකථන සංවාද පිළිබඳ කරුණු පමණක් ඇතුළත් වාර්තාවක් බව කැෆේ සංවිධානය විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කෝප් කමිටුව පැවැත්වෙන කාලවකවානුව තුළ කෝප් කමිටු සාමාජිකයන් හා අර්ජුන ඇලෝසියස් පැවැත්වූ දුරකථන සංවාද පිළිබඳ වාර්තාවක්ද, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැත්වූ දුරකථන සංවාද පිළිබඳ සවිස්තර වාර්තාවක්ද රහස් පොලීසිය විසින් බැඳුම්කර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවත් එම වාර්තා කිසිවක් මහජනතාව වෙත නිකුත් කර නොමැති බවත් හෙතෙම සඳහන් කරයි.
සී 350 සිට සී 359 දක්වා ලේඛනයේ පිටු 139 ක් අන්තර්ගත බවත් එයින්, පිටු 127ක් පමණක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද මහජනතාවට නිකුත් කර ඇති බවත් ලබා දී ඇති වාර්තාවේ මුල් පිටපත ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වෙයි.
