ජාතික ආරක්ෂාවට බාධා පමුණුවන ආකාරයේ කට කතා පැතිරවීම ඔස්සේ ඇතැම් පාර්ශව ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ වාසි ලබාගැනීමට උත්සාහ දරමින් සිටින්නේ දැයි සැක මතුවන බව කැෆේ සංවිධානය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා ද මාධ්‍ය වෙත පවසා තිබුණේ ජාතික ආරක්ෂාවට බාධා කරන කටකතා 5,000කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති බවයි.
මෙවැනි කටකතා තුළින් ඊයේ මට්ටක්කුලිය, වත්තල , හැටන් ආදී ප්‍රදේශ වල පාසැල් අසල බෝම්බ බියක් පැතිරවීම නිසා පාසැල් කිහිපයක කටයුතු අඩාල වූ අතර ඒ ආශ්රිත ප්‍රදේශවල එදිනෙදා ජන ජීවිතයට බලපෑම්ද එල්ල විය.
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන මෙවැනි අසත්‍ය ප්‍රචාර පසුපස යම් සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේදැයි සොයාබලන ලෙස කැෆේ සංවිධානය පොලීසිය, ආරක්ෂක අංශ සහ මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබේ.
මෙවන් කටකතා පැතිරවීම තුළින් යම් යම් පාර්ශව දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා වන බාධාවක් බව කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ ජාතික අරක්ෂාව සම්බන්ධයෙන් කටකතා පතුරුවන්නන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි කටකතා සහ අසත්‍ය ප්‍රචාර ගෙනයාම් පිළිබඳව නිරීක්ෂණය කිරීමට වෙනම ඒකකයක් කැෆේ සංවිධානය විසින් පිහිටුවා ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 179 ක් වන අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ රාජ්‍ය දේපළ අවභාවිතය පිළිබඳ පැමිණිලි වැඩි වශයෙන් ලැබී තිබේ.
