තෙල් නිෂ්පාදනය කරන රටවල් කැණීම් සිදුකර, බොර තෙල් ගොඩට ගෙන, පිරිපහදු කර නැව්වල දමා ලංකාවේ වරායට රුපියල් 78 ශත 43කට පෙට්‍රල් ලීටරයක් ගොඩබාන විට ආණ්ඩුව රුපියල් 60 ශත 63ක බද්දක් අයකර ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මීට අමතරව පෙට්‍රල් ලීටරයකින් තවත් රුපියල් 5 ශත 94ක ලාභයකුත් එකතු කර පෙට්‍රල් ලීටරයක් රුපියල් 145කට අලෙවි කරන බවත්, රුපියල් 83 ශත 70කට වරායට ගොඩබාන ඩීසල් ලීටරයකට රුපියල් 32 ශත 14ක බදු මුදලක් අයකර ගන්නා බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
ආණ්ඩුව සාධාරණ හේතුවක් නොමැතිව දිගින් දිගටම තෙල්මිල ඉහළ දමමින් සිටින බවත්, මේ නිසා තෙල් මිල ඉහළ යෑමට අමතරව අමතර ප්‍රශ්න ගණනාවක් මතුව තිබෙන බවත් හෙතෙම එහිදී පවසා සිටියේය.
පසුගිය 05 දා ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් එකඟ නොවී, දින දෙක තුනකට පසු ඉන්ධන මිල ඉහළ දැමීමට එකඟ වීමෙන් ජනාධිපතිවරයා රටට විහිළු සපයමින් සිටින බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.
