පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වලක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණයට වෙන වෙනම ඇප ඇයැදුම් දෙකක් ඉදිරිපත් කොට ඇත.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා හමුවටද අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවටද වෙන වෙනම ඇප ඇයැදුම් දෙකක් ඉදිරිපත් කොට ඇත.
හේමසිරි ප්‍රනාන්දු මහතාට ඇප ඉල්ලා ඉදිරිපත් කොට ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරිම සඳහා ද පුජිත් ජයසුන්දර මහතාට ඇප ඉල්ලා ඉදිරිපත් කොට ඇති පෙත්සම ද හෙට (27) දින කැඳවීමට අධිකරණ විසින් දින නියම කරන ලදී.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වලක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබු හේමසිරි ප්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණයට ඉදිරිපත් කළ මුල් අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඔවුන් ඇප මත මුදා හරිනු ලැබුවාය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මහේස්ත්‍රාත්වරියගේ නියෝගය ප්‍රතිශෝධනය කරමින් සැකකරුවන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණි.
ඒ අනුව රිමාන්ඞ් භාරයට පත් කොට සිටින සැකකරුවන් දෙදෙනාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් සැකකරුවන් විසින් වෙන වෙනම ඇප ඇයැදුම් පත් දෙකක් ඉදිරිපත් කොට ඇත.
එම ඇප ඇයැදුම්පත් සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් මෙම ඇප ඇයැදුම්පත් හෙට (27) දින කැඳවිමට නියම කෙරිණි.
