තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පරිසර විෂයයද තමා යටතට පවරාගත්තේ පරිසර විනාශයට දේශපාලන බලයේ ආශිර්වාදය හිමිවීම වැළැක්වීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පසුගිය වසර 50ක කාලය තුළ මේ රටේ සිදුවූ දැවැන්ත පරිසර විනාශයේ ප්‍රධාන වගකීම ගෙන තිබෙන්නේ ඇතැම් දේශපාලනඥයන් වන අතර, දේශපාලන බලය පදනම් කරගනිමින් සිදුවූ එම ව්‍යසනය ජාතියේ අවාසනාවක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජාතික නාමල් උයනේ සංවර්ධන හා ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (26දා) පෙරවරුවේ එක්වෙමිනි.
අද මෙරට වන ඝනත්වය 29%ක පමණ අඩු මට්ටමක පවතින අතර, එම ප්‍රමාණයෙන්ද 1.4%ක ප්‍රමාණයක් වාර්ෂිකව විනාශවන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා නිසි වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ඔස්සේ මෙම අයහපත් තත්ත්වය වැළැක්වීමට කඩිනමින් සියලුදෙනා එක්විය යුතු බවද අවධාරණය කළේය.
එමෙන්ම ඉතිහාසයේ පළමු වතාවට පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ලබාගැනීමට තමන් කටයුතු කළ බව කීමෛත්රීපාල සිරිසේන මහතා, ඒ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවෙන් ලැබෙන සහායද ඇගයීමට ලක් කළේය.
පුරාවිද්‍යාත්මක හා ඉහළ ජෛව විවිධත්ව වටිනාකමකින් යුතු රෝස තිරුවානා කඳු වැටිය සහිත නා උයන මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පවරාදීමට එහි භාරකාර පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් පියවර ගෙන තිබේ. වසර 25ක් පුරා නාමල් උයන ආරක්ෂා කරමින් එය මේ දක්වා රැකබලාගත් පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ මෙහෙවරද එහිදී ජනාධිපතිවරයාගේ දැඩි ප්‍රසාදයට ලක්විය.