මේ මාසයේ මුල් දෙසතිය තුල සංචාරකයන් 19,222කු දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. නොවැම්බර් 01 වෙනිදා සිට 14 වෙනිදා දක්වා කාලය තුල මෙම සංචාරකයන් පැමිණ තිබේ. රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු මේ දක්වා දිවයිනට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 80,310ක් බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංචාරක අධ්‍යන අංශය විසින් කොළඹ වන් ගෝල් ෆේස් (one galle face mall) වෙළඳ සංකීර්ණයේදී සංවිධානය කර ඇති Sri Lanka Tourism Expo 2021 සංචාරක ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. කොවිඩ් වසංගතයෙන් පසුව මෙරට පැවැත්වෙන පලමු සංචාරක ප්‍රදර්ශනය වන්නේ ද මෙම Sri Lanka Tourism Expo 2021 ප්‍රදර්ශනයයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම ප්‍රදර්ශනයේ කුටි සංඛ්‍යාව 50කට සීමා කර තිබුන ද මෙරට ප්‍රධානපෙලේ සංචාරක හෝටල් සේවා ආයතන මේ සඳහා සිය ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කර තිබිනි.
ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, පාකිස්ථානය, ජර්මනිය, මාලදිවයින, ප්‍රංශය, කැනඩාව, ඇමරිකාව සහ ස්විස්ටර්ලන්තය වැනි රටවල් වලින් ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණ තිබේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් මෙරටට පැමිණ ඇති සංඛ්‍යාව 13,547කි. ඔක්තෝම්බර් මාසයේ දී සංචාරකයන් 22,771ක් මෙරටට පැමිණ ඇතැයි ද ඇමතිවරයා කීවේය. ඔහු අවධාරණය කලේ මෙරටට සංචාරක කර්මාන්තය ක්‍රම ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙන බව එමගින් තහවුරු වන බවයි.