සැමට සමානව සෞඛ්‍ය සේවාව ලබාගැනීමේ අයිතිය තහවුරු කරමින් නිදහස් සෞඛ්‍ය සේවය ස්ථාපිත කිරීම තම අරමුණ බව ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ අද (15දා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ජාතික ජනබලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
"මේ ප්‍රතිපත්ති සකස් කළේ හුදු දත්ත මත පදනම්ව පමණක් නෙමෙයි. ඒ ඒ ක්ෂේත්රවල කරපු අධ්‍යයනයකින් තමයි මේ ප්‍රතිපත්ති සකස් කළේ. මෙහි ප්‍රධාන අරමුණ අපේ රට යළි සුවපත් කිරීම. අද වෙද්දි අපේ රටේ වයස 20ට වඩා වැඩි අයගෙන් 25%ක් කුමන හෝ වර්ගයක බෝ නොවන රෝගයකින් පෙලෙනවා.
පිළිකාව නිසා දිනකට 14කට ආසන්න ගණනක් මිය යනවා. ශ්වසනාබාධ නිසා දිනකට 6 දෙනෙක් පමණ මිය යනවා. වකුගඩු රෝගය අද විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. දවසකට 06 දෙනෙකුට ආසන්න වශයෙන් මිය යනවා. තාමත් ආණ්ඩුවත් ලෙස වකුගඩු පර්යේෂණ මධ්‍යස්ථානයක් ගොඩනගන්න අසමත් වෙලා තියෙනවා. අපි වකුගඩු පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවනවා.
ඕනෑම රටක් සංවර්ධනය කිරීමේදී අතිශය වැදගත් ඒ රට තුළ සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම. රටක් දියුණු කිරීමේ උපායමාර්ගයේම කොටසක් ලෙස තමයි සෞඛ්‍ය පවතින්නේ. මේ ප්‍රතිපත්ති සැකසීමේදී ආහාර පිළිබඳ අපේ අවධානය යොමු කරලා තියෙනවා. වර්තමානය වනවිට ශ්‍රමය වගුරන ආකාරය වෙනස් වෙලා තිබුණට අපේ ආහාර රටාව වෙනස් වෙලා නෑ. අපි තාමත් ආහාර ගන්නේ අපේ පැරණි සීයලා ආච්චිලා ගත්ත විදියට.
අපි ගන්න ආහාර පිළිබඳ සහතිකයක් ලබාදෙන්න කිසිම රජයක් බැඳිලා නෑ. නමුත් රටකට සුපිරිසුදු ආහාර ලබාදීම රජයේ වගකීමක්. අද ආහාර ගන්න තියෙන තැන ඒ, බී, සී කියලා වර්ග කරලා. පිරිසුදුකම ඉහළම තැනට ලැබෙන්නේ ඒ මට්ටම. චුට්ටක් පිරිසුදු නම් බී. එහෙම වෙන්න බෑ. අපි ආහාර ගන්න ඕනෑම තැනක් පිරිසුදුභාවයේ උපරිමයේ තිබිය යුතුයි. රටක් පත් කළ යුත්තේ එතැනට.
ඖෂධ කියන්නේ ජාවාරමක්. අපේ රටත් අපේ ජනතාවත් මේ ඖෂධ ජාවාරමේ ගොදුර බවට පත්වෙලා තියෙනවා. රෝහල් තිබුණත් සෞඛ්‍ය මිලදී ගන්න වෙලා තියෙනවා. තමන්ගේ පොකට් එකේ තියෙන ගාණ අනුව බෙහෙත් ගන්න සිද්ධවෙලා තියෙනවා. බලවත් අයට සහ ධනවත් අයට ජීවිත් වීමේ හැකියාව තිබෙන, දුබල දුප්පත් අයට මරණය තෝරාගැනීමට සිදුවන සෞඛ්‍ය ක්‍රමය වෙනස් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා නැවත සෞඛ්‍ය සේවය රෝහලට ගෙන යා යුතුයි. අපේ මෙම ප්රතිපත්තිවල ප්‍රධාන අරමුණ යළි අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය, සෞඛ්‍ය සේවය ලබාගැනීම සඳහා ප්‍රවේශ වීමේ අයිතීන් සමාන ලෙස තහවුරු කිරීම.
රෝහල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුව තියෙනවා. ඇඳක් නැතුව ලෙඩුන් විශාල පිරිසක් රෝහලේ බිම ඉන්නවා. ඒ නිසා යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුයි. සමහරු අහනවා කොහොමද මේකට මුදල් හොයාගන්නේ කියලා. අනිවාර්ය වියදම්වලට සෞඛ්‍ය ඇතුළත් කර, නාස්තිය නතර කිරීමෙන් සෞඛ්‍ය සේවය දියුණු කළ හැකියි" යනුවෙන් පවසා සිටියේය.
නවෝද්‍යා පවනි
