දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගෙන ඇති රටවල් අතරින් පළමු වැනි ස්ථානය ලංකාවට හිමිකර දීමට තම ධුර කාලය තුළදී බලාපොරොත්තු වන බව ජනාධිපතී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජකර්තා මූලධර්ම පිළිබද එක්සත් ජාතින්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීම අද (25දා) කොළඹදී ආරම්භ කරමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
“දූෂණය බලය, බලය දූෂණය යන්න මම දැක තිබෙන්නේ ජාතික දේෂපාලනයේ හා අන්තර්ජාතික දේශපාලනයේ එකට ගමන් කරන දම්වැලක් ලෙසයි. මම 2016 ලන්ඩන්වල පැවති දූෂණ විරෝධී සමුළුවට වගේම පසුගිය සතියේ ජෝර්ජියාවේ පැවති දූෂණ විරෝධී සමුළුවට සහභාගි වුණා. අද වන විට සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණදෙන අභියෝගාත්මක ප්‍රශ්න බවට දූෂණය, අල්ලස, අපරාධ හා මත්ද්‍රව්‍ය පත්ව තිබෙනවා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මේ රටේ ජනතාව මා ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරනු ලැබුවා. මගේ මැතිවරණ පොරොන්දු අතර තිබූ ප්‍රධාන පොරොන්දුවක් තමයි ජනාධිපතිවරයාට තිබූ අසීමිත බලතල ඉවත් කරන එක. රාජාණ්ඩුවක රජෙකුට තිබූ බලතල මට 19 වැනි සංශෝධනයෙන් ඉවත් කිරීමට හැකි වුණා. එය මේ රටේ ප්රජාතන්ත්රවාදය, නිදහස, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් යන සියල්ල යටතේ මෙරට පොදු ජනතාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. මැලේසියානු දූෂණ විරෝධී කොමිසමේ කොමසාරිස්වරයාගේ කතාවේදී දූෂණ විරෝධී වැඩපිළිවෙළ ගෙන ඇති රටවල් හා ඒවා ගෙන ඇති ස්ථාන පිළිබඳ කතා කළා. මම බලාපොරොත්තුවන්නේ මගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකාව මෙයින් අංක එකට පත් කිරීමට “ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
