දින කිහිපයක් තිස්සේ නිරත වූ සෙමෙන් දුම්රිය ධාවනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත්වීමට වෘත්තීය සමිති එකඟවීම නිසා ඊයේ (12දා) සවස සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ දුම්රිය කාලසටහන් හා වේගසීමා අතර පවතින පරස්පරතා නිරාකරණය කිරීමට ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා එකඟ වූ බවයි.
එසේම දුම්රිය රියදුරු වෘත්තීය සංගම් පෙන්වාදුන් සංඥා දෝෂ සහ වේගසීමා පිළිබඳව ඇමතිවරයාගේ අවධානය ලක්වූ බවත්, ඒ අනුව සංඥා දෝෂ හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමටත්, වේගසීමා වැඩි කිරීමටත් ඇමතිවරයා බලධාරීන්ට උපදෙස් දුන් බවද නියෝජ්‍ය ගමනාගමන අධිකාරීවරයා කීය.
දැනට කාලසටහන් වෙනස් නොකර දුම්රිය ධාවනය කිරීමට වෘත්තීය සමිති එකඟ වූ බැවින් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.