දේශපාලනයටද හෙරොයින් ජාවාරම්කරුවන් පැමිණ සිටින බවත් ත්‍රස්තවාදය මෙන්ම හෙරොයින් ජාවාරමද ලංකාවෙන් තුරන් කරන බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (15) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණ ජනරැළි මාලාවේ දැරණියගල පැවැති ජනහමුවට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“මෙම මැතිවරණ දේශපාලන ව්‍යාපාරයේ දේශපාලන රූකඩයක් නොවෙයි මම. එක් එක් කෙනා පලනය කරන එක් එක් කෙනාට යටත් වුනු වහල් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් නොවෙයි මම. මේ රටේ ජනාධිපති ලෙස ජනතාව මා දිනවන කොට මාව හසුරුවන්න කව්රුවත් නැහැ. මාව පාලනය කරන්න කව්රුත් නැහැ. මාව හසුරුවන්නේ මාව පාලනය කරන්නේ මහපොළොවට පය ගසා ජිවත් වන පුංචි මිනිසුන් වන ඔබ තමුන්නාන්සේලායි.
රටක් ඉදිරියට යන්න නම් අලුත් තාක්ෂණය, නවදැනුම පදනම්වූ ආර්ථිකයක් වෙනුවෙන් අපේ රට පරිවර්තනය කරන්න ඕනේ. නව තාක්ෂණය ඩජිටල් තාක්ෂණය පරිඝනක විද්‍යාව ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය අපි ලබා දෙන්න ඕනෑ. අගනුවර හෝ තදාසන්න නගරයක සිටින තරුණ පරපුර පමණක් නොවෙයි රටේ සමස්ත තරුණ පරපුරටම එය ලාබදිය යුතුය කියන ශක්තිමත් මතයේ මම ඉන්නවා.
රටට විදේශ විනිමය ගෙනෙන වතු කම්කරුවෙකුට දවසකට ලැබෙන්නේ රුපියල් 700 ක සොච්චමක් පමණයි. නමුත් ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසෙකට ජිවත් වෙන්න රුපියල් 50,000 ත් 55,000 ක් අවශ්‍යයි කියලා. ඒ නිසා සොච්චම් මුදලක් ලැබෙන වතු කම්කරුවාගේ වැටුප වැඩි කරනවා කියා මා පොරොන්දු වෙනවා.
රටම වෙලාගෙන තිබෙන කුඩු ජාවාරමට මා ඉඩ තබන්නේ නැහැ. අපේ මාතෘභුමියේ කුඩුකාරයන්ට තැනක් තබන්නේ නැහැ. දේශපාලන ක්ෂේත්රයටත් කුඩුකාරයෝ ඇවිල්ලා. ඔවුන් බලවතුන් ධනවතුන් වෙලා. මම හොදම පුද්ගලයා ආරක්ෂක ඇමතිකමට පත් කරලා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ත්‍රස්තවාදය තුරන් කරමින් කුඩුකාරයාවත් මෙරටින් තුරන් කරනවා.”
