දරුවන් පළිහක් ලෙස පෙළපාළිවලට ගෙනයාම නීතිය අනුව බරපතල වරදක්
දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව ද බරපතල වරදක් බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ශ්‍රී ලංකා පොලීසියට උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.
“ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජීය වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ ශුභසිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුක්තව වර්ධනය කළ යුත්තේය” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන වගන්තියේ 13 වන උප වගන්තිය යටතේ ඇති කරුණු සිහිපත් කළ ජනාධිපතිවරයා දරුවන් ආරක්ෂා කර ගැනීම රජයක ප්රමුඛ වගකීම බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකා පොලීසියට සහ ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් වන ආයතනවලට දරුවන් සුරැකීම සම්බන්ධයෙන් වන වගකීම් පැවරීමට ද මෙහිදී පියවර ගැනිණි.
ළමයින් ලිංගික කටයුතු සඳහා යොදා ගැනීමට එරෙහිව සහ ළමුන්ගේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතක් කඩිනමින් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා සමග ද සාකච්ඡා කර ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
නීතිවිරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වීමට යාමේ දී අත්අඩංගුවට පත්වූ පිරිස අතර සිටින දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කර රැඳවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා එය වහාම නිවැරදි කර දරුවන් දෙමාපියන් සමග තැබීමට කටයුතු කරන ලෙස ද දැනුම් දුන්නේය.
ළමා නිවාසවල සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරුණු අතර ළමා නිවාසවල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හඳුනා ගනිමින් ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නිලධාරීන්ට දැන්වීය.
ළමා නිවාස භාරව කටයුතු කරන පාලක පාලිකාවන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා එමගින් එම දරුවන්ට මුහුණදීමට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් මග හරවා ගක හැකි බව ද පැවසීය.
කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා හා රේඛීය ආයතනවල රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

popular news
-
Rocky Thursday, 13 October 2022 06:16 AM
Ese gena aapu lamayinta Polisiyen hinsaa kireema Eetath Wadaa Barapathala waradak !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

