දකුණේ ඡන්දවලින් පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළද උතුරු නැගෙනහිර ජනතාව කිසිසේත් අත් නොහරින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවුසවේ ඊයේ (03දා) පස්වරුවේ හම්බන්තොට කුඩාවැල්ල ප්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමිනි.
උතුරු නැගෙනහිර ඡන්ද නොමැතිව ජනාධිපතිවරණයක් ජය ගැනීමට නොහැකි බවට විවිධ ප්‍රචාර ගෙන ගිය විපක්ෂය මෙවර මහ මැතිවරණයේදීත් එම ප්‍රකාශයම ජනගත කිරිමට උත්සාහ කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
දකුණේ ඡන්දවලින් තමන් ජයග්‍රහණය කළද උතුරු නැගෙනහිර ජනතාව අත් නොහරින බවත්" එම ජනතාව දිනා ගැනීමේ වැඩපිළිවෙලක් ඉදිරියට ක්‍රියාත්මක කරන බවත්" අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
උතුරු නැගෙනහිර ජනතාව දිනාගැනීමේදී දකුණේ තරුණ කණ්ඩායම්වල සහාය අපේක්ෂා කරන බවත්" උතුර දකුණු භේදයක් නොමැතිව එක සේ රට සංවර්ධනය කිරීම සඳහා සෑම අවස්ථාවකම තම රජයන් කටයුතු කර ඇති බවත් ඔහු පැවැසුවේය.
යහපාලන ආණ්ඩුව සමයේ මෙරට සංවර්ධන ව්‍යාපෘති අඩාල වීම, කර්මාන්තශාලා හා ව්‍යාපාර අඩපන වීම හේතුවෙන් වර්තමාන තරුණ පරපුර අතර ඔඩුදුවා ඇති ප්‍රශ්නයක් වන විරැකියාවට විසදුම් දීම සදහා නුදුරේ බිහිවන තම රජයක් යටතේ පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ සඳහා කර්මාන්තපුර ඇති කිරීමටත් ඒ අනුව හම්බන්තොට දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් සඳහා අක්කර 450ක් ලබාදීමටත්, දේශීයව ටයර් නිෂ්පාදන සමාගම් ආදී කර්මාන්ත ශාලා ඇති කිරීමටත් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇතැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.