විජයකලා මහේෂ්වරන් ඇමතිවරිය විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව කෙසේ ක්‍රියාත්මක වන්නේදැයි තමන් වහනසේ ඇතුළු පිරිස බලා සිටින බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැවසූහ.
ඒ අද (03දා) ඥානසාර හිමි ඇතුළු නියෝජිතයන් පිරිසක් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධර්මාලංකාර මහා නායක හිමි බැහැදැකීමට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමිනි.
එහිදී අදහස් දැක්වූ ඥානසාර හිමියන්,"මං හිතන්නේ මේ දවස්වල අපි වියදම් නැතුව කොමඩි ෆිල්ම් බලනවා. සිනමාවේ විකට නළුවන් ඉන්නෙත් කිහිපදෙනයිනේ. දැන් ඉතිං නොමිලේම අපිට මාධ්‍ය තුළින් උතුරේ සහ දකුණේ දේශපාලකයන්ගේ කවටකම්... සරලව කිවුවොත් විහිළු නාට්‍ය සපයමින් සිටිනවා දේශපාලකයෝ. ඉතින් අපිට පිළිකුලක් ඇති වෙනවා මේ රට මොකද්ද කියලා.
එක රටක තිබිය යුත්තේ එක නීතියයි. ඒක උතුරටත් දකුණටත් පොදු විය යුතුයි. අපි හැමදාමත් කියනවා වගේ උතුරේ සහ නැගනහිර දේශපාලන බලය ලබාගැනීම වෙනුවෙන් දිගින් දිගටම ජාති භේදකාරී ප්‍රකාශ නිකුත් කරන විජයකලාට දෙන දඬුවම මොකද්ද කියලා අපි බලාගෙන ඉන්නවා. ඒක තෙල්දෙණියේ තරුණයන්ට වගේම විජයකලාටත් වලංගු විය යුතුයි. බලමු මේ රටේ බලධාරීන් ICCPR පනතත් අරගෙන විජයකලාවත් වටලන්න යයිද කියලා.
දැන්නම් අපිට හිතෙනවා මේක මොන පිස්සන්ගේ රටක්ද කියලා. ඉතින් මේ හැම එකෙන්ම පෙනෙන්නේ මිනිසුන්ගේ වහල්කම.. මේ වහල්කමෙන් අතමිදිලා... මේ දේශපාලන කොලම්කාරයන්ගෙන්... මේ දේශපාලන නැට්ටුවන්ගෙන්... මේ දේශපාලන විහිළු සපයන්නන්ගෙන් මේ රට මුදවා ගැනීම සඳහා අපි අනිවාර්යයෙන් කැප විය යුතුයි යැයි පවසා සිටියහ.
