හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලක්දරු දිරිය පදනම විසින් සංවිධානය කරනු ලැබූ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්ෂිකව විශ්ව විද්‍යාල තේරී පත්වන දරුවන් ඇගයීම හා තිළිණ පිරිණැමීමේ උළෙලක් පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරින් විසින් අද (15) අත්හිටවනු ලැබීය.
පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරින් අද (15) 10.30ට පමණ පැමිණ මෙම වැඩමුළුව පැවැත්වීමට නොහැකි බව දැනුම් දුන් අතර එම අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශාලාවට පැමිණ අසුන්ගෙන සිටි සිසුන් අමතා තමන් කොහෙත්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදු නොකරන බවත් පවතින මැතිවරණ නීතියට ගරු කරන බවත් මැතිවරණ කොමිසමේ නිලධාරින් පැමිණ මෙය අත්හිටුවීමට කීම නිසා තමන් මෙම ඇගයීම් තිළිණ හා සහතික පත් ප්රදානය කිරීම අගෝස්තු 05 දායින් පසු සිදු කරන බවත් දන්වා සිසුන් අපහසුවට පත් වීම පිළිබදව සමාව ඉල්ලා සිටින බවද පවසා නික්ම ගියේය.
2019 වසරේ අ.පො.ස. (උ.පෙ.) විභාගයෙන් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සදහා තේරී පත්වූ දරු දැරියන් 360කට ආසන්න පිරිසක් සදහා ඇගයීම් තිළිණ හා සහතිකපත් පිරිනැමීමේ උළෙලක් අද (15) පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී පැවැත්වීමට සංවිධානය කර තිබූ අතර මෙහිදී විශ්ව විද්‍යාල සිසුන් සදහා විශ්ව විද්‍යාලයේ දී විවිධ පාඨමාලා හැදෑරීමේදී වෘත්තියාභිමුඛ පාඨමාලා තෝරා ගැනීම පිළිබදවත් විශේෂ විද්වත් දේශනයක්ද සංවිධානය කර තිබිණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා මෙම විද්වත් දේශනය සදහා සහභාගී වී සිටියේය.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලක්දරු දිරිය පදනම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම වැඩමුළුව හා ඇගයීම් උළෙල මෙවර 20 වන වරට සංවිධානය කර තිබුණි. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් විශ්ව විද්‍යාලයට තේරී පත්වන සියලුම දරු දැරියන් සදහා වාර්ෂිකව පැවැත්වෙන මෙම වැඩමුළුව මෙවර ඔවුන් විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට පෙර ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම ගැන සංවිධායකයෝ කනගාටුව පළ කළහ.
මේ පිළිබදව පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල මෙනෙවියගෙන් අප කළ විමසුමක දී පැවසුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට භාණ්ඩ බෙදාදීමේ කටයුත්තක් සිදුවන බවට ලැබුණු පැමිණිල්ලක් අනුව තම නිලධාරින් එහි යවා එම වැඩසටහන අත්හිටුවීමට ක්‍රියා කළ බවයි.
