කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට ලක්ෂ 10ට අඩු බැංකු ණය නැවත ගෙවීමේදී ලබා දී ඇති සහන කාලය, රාජ්‍ය අංශයේ ලක්ෂ 10ට වැඩි ණයවලටත් ලබා දෙන ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ජනාධිපතිවරයෙගන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරන්නේ, මේ වන විට බැංකු මගින් රාජ්‍ය සේවකයින් සඳහා එම එක් එක් වෘත්තීන් පදනම් කරගනිමින් හඳුන්වාදී ඇති සුව සේවා, ගුරුසෙත, සහන වැනි ණය යෝජනා ක්‍රම රාශියක් වන අතර ඔවුන් ලබන මූලික වැටුප මත ලබාගත හැකි උපරිම ණය සීමාව රු ලක්ෂ 20 දක්වා වන බවයි.
එහිදී 3/2016 රාජ්‍ය පරිපාලන වැටුප් චක්‍රලේඛයට අනුව විශේෂයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩි කරනු ලැබූ අතර ඊට සමගාමීව බැංකු විසින් රාජ්‍ය සේවකයින්ට ලබාගත හැකි ණය සීමාවන්ද දෙගුණයකින් පමණ ඉහළ දැමූ බවද ජයසිංහ මහතා පවසයි.
තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ එවැනි පසුබිමක් තුළ රාජ්‍ය සේවකයින්ද බොහොමයක් වැඩි කරනු ලැබූ තම මූලික වැටුප මත පදනම්ව රු. ලක්ෂ 10 සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇති බවයි.
එමනිසා ලක්ෂ 10ට අඩු සීමාව ඉවත් කර සියලුම රාජ්‍ය සේවකයින්ගේ බැංකු ණය සඳහා අදාළ සහන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ද ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
