ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 16දා එළිදැක්වෙයි
2030 වනවිට ඇ.ඩො.බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම අරමුණු කරමින්, ඉදිරි වසර පහ සඳහා වන 2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය 2026 ජූනි 16දා කොළඹදී පැවැත්වීමට නියමිතය.
අපනයන තරගකාරිත්වය වැඩිදියුණු කිරීම සහ අපනයනය මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් සඳහා වූ ජාතික ප්‍රමුඛතාවයක් ලෙස මෙම සැලැස්ම සකස් කිරීමට 2025 අයවැය මඟින් යෝජනා කර තිබුණි. ඒ අනුව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති පාදක ණය (PBL) වැඩසටහන යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙම උපායමාර්ගික රාමුව සකස් කර ඇත.
මෙම ජාතික සැලැස්ම ප්‍රධාන කුලුණු දෙකක් මත පදනම්ව ව්‍යුහගත වී ඇති අතර, ඉන් පළමුවැන්න වන තිරස් අංශ (Horizontals) මගින් සියලු ප්‍රමුඛතා අංශවල වර්ධනයට සහාය වීම සඳහා අවශ්‍ය මූලික පදනම සපයනු ලබයි. මේ යටතට වෙළෙඳ පහසුකම් සැලසීම, වෙළෙඳ මූල්‍ය සහ ආයෝජන පරිසර පද්ධති සංවර්ධනය, වෙළෙඳ ප්‍රවර්ධනය සහ වෙළෙඳපොළ ප්‍රවේශය, සැපයුම් කළමනාකරණය සහ ඒකාබද්ධ මධ්‍යස්ථාන මෙහෙයුම් මෙන්ම ගුණාත්මක යටිතල පහසුකම්, ප්‍රමිති සහ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) අනුකූලතාව වැනි අංශ ඇතුළත් වේ. මීට අමතරව, නිපුණතා සංවර්ධනය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය කෙරෙහිද මෙහිදී අවධානය යොමු කර ඇත.
දෙවන කුලුණ ලෙස අපනයන විවිධාංගීකරණය ඉහළ නැංවීම සහ අගය එකතු කිරීම ඉලක්ක කරගත් ප්‍රමුඛතා අංශ (Verticals) අටක් හඳුනාගෙන ඇත. එම ප්රමුඛ අංශ වන්නේ මෝටර් රථ උපාංග, ඛනිජ පදනම් කරගත් කර්මාන්ත, රබර් ආශ්රිත කර්මාන්ත, සමුද්‍රීය කර්මාන්ත (බෝට්ටු සහ නැව් තැනීම ඇතුළුව), කුළුබඩු සහ සාන්ද්‍රණයන්, ඩිජිටල් නිෂ්පාදන සහ සේවා, විදුලි හා විද්‍යුත් උපාංග මෙන්ම සැකසූ ආහාර හා පාන වර්ගයි.
රාජ්‍ය හා පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර හවුල්කරුවන් ඇතුළු 300කට අධික පිරිසකගේ දායකත්වයසහ පුළුල් සාකච්ඡා මාලාවකින් අනතුරුව මෙම සැලැස්ම සකස් කර ඇති බැවින්, මෙය මෙරට අපනයන ක්ෂේත්රයේ ප්‍රබල පරිවර්තනයක් සිදු කරනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

