ප්රධාන ජලාශ 73 න් 30 කට අධික ප්රමාණයක් පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග අධ්යක්ෂ ඩී අබේසිරිවර්ධන මහතා ප්රකාශ කළා.
ජලාශ රැසක ද වාන් දොරටු විවෘතකර තිබෙනවා. තබ්බෝව , රාජාංගනය, කන්තලේ යන ජලාශවල මෙන්ම දැදුරුඔයේ ද වාන් දොරටු තවදුරටත් විවෘතකර ඇති බැවින් පහත් බිම්වල සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසද දැනුවත් කෙරෙනවා.
රන්දෙනිගල ජලාශයේ ද උපරිම ජල ධාරිතාවට පැමිණීමත් සමඟ වාන් දැමීම ආරම්භ වුණා.
මේ අතර අධික වැසි සහිත කාලගුණයත් සමඟ නායයාමේ අවදානම හේතුවෙන් කඩුගන්නාව ප්රදේශයෙන් වසාදැමුණු කොළඹ නුවර මාර්ගය විවෘත කළ හැකි දිනයක් නිශ්චිතව කිව නොහැකි බව ආපදා කළමනාකරණ අංශ පවසනවා.
තද වැසි හේතුවෙන් කඩුගන්නාව ප්රදේශයේ නායයාමේ අවදානමක් මතුවීමත් සමඟ කොළඹ නුවර මාර්ගය එම ප්රදේශයෙන් තාවකාලිකව වසා දැමුණා. මේ වනවිට පස් සාම්පල ලබාගනිමින් පරීක්ෂණ සිදුකෙරෙන බවයි ආපදා කළමනාකරණ අංශ සඳහන් කළේ.
දිවයිනේ පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා. නාත්තණ්ඩිය , බටහිර තුම්මෝදර , නැගෙනහිර තුම්මෝදර හා ඉහළ මාවිල යන ග්රාමසේවා කොට්ඨාසවල පවුල් 960 ක් පමණ පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ට සහන සැළසීමේ කටයුතු ද අඛණ්ඩව ක්රියාත්මකයි.
මීරිගම සහ විජයරජදහන දුම්රිය ස්ථාන අතර කොළඹ දෙසට දුම්රිය ධාවනය වන එක් මාර්ගයක් ගිලාබැසීමට ලක්ව තිබෙනවා. මාර්ගයේ පිහිටා ඇති බෝක්කුවක් ගිලා බැසීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති අතර මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භකර තිබෙනවා.