සාකච්ඡා කිරීමකින් තොරව දිවයිනේ ඉන්ධන සැපයුම අඩාල කිරීම සඳහා ලංකා පෞද්ගලික ඉන්ධන බවුසර හිමියන්ගේ සංගමය කටයුතු කරමින් සිටීම තමන් දැඩි ලෙස හෙළාදකින බව ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම පවසයි.
ප්රවාහන දීමනාව වැඩි කරන ලෙස ඉල්ලමින් මෙලෙස ඉන්ධන බෙදා හැරීම නැවැත්වීමට තර්ජනය කිරීම, රටේ බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ හෙළමින් තම ඉල්ලීම් ලබා ගැනීමට කරන උත්සාහයක් බවත්, එය රජයේ ආයතනයකට සේවා සපයන පිරිසක් නියෝජනය කරන වගකීම් සහගත සංවිධානයක් ලෙස කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි ක්රියාවක් බවත් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම පෙන්වා දෙයි.
‘‘රජයේ ආයතනයක් ලෙස අප රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට බැඳී සිටිනවා. පසුගිය වසරක කාලය පුරා අප ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම තුළ පැහැදිලි වෙනසක් කිරීමට වෙහෙස නොබලා වැඩ කළා.
මේ වන විට සමාගම පැහැදිලි වර්ධනයක ලකුණු පෙන්නුම් කර තිබෙනවා, අප හැමවිටම සාකච්ඡාවලටත්, ගැටලූ ඇත්නම් ඒවාට විසඳුම් සෙවීමටත් විවෘතයි.
එහෙත් ජාතික ඉන්ධන සැපයුම අඩාල කිරීමට, රටේ බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ හෙළීමට හෝ ජනතාව අපහසුතාවට පත්කරමින් තම වුවමනාවන් ඉටුකර ගැනීමට උත්සාහ කිරීම් වලට අප ඉඩදෙන්නේ නැහැ.” ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසී ය.
