ඉදිරි දින කිහිපය ඇතුළත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන බවට දන්වා ඇතැයි එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (02දා) පැවසීය.
ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණෙන්නැයි තමන් කළ ඉල්ලීමක් අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රධාන කාර්යාලයට පැමිණෙන බවද ඒ මහතා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා වටා වෘත්තීයවේදීන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් එක්ව සිටින බැවින් ඔහුට ඍජුව දේශපාලනය කිරීමට කාලය පැමිණ ඇතැයිද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර හෝ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර මතභේදයක් නොමැති බවයි.
