කටුනායක ගුවන්තොටුපොළ අවට කලාප ඉහළ අහසේ සරුංගල් යැවීමෙන් වැළකී සිටින්නැයි ගුවන්තොටුපොළ රාජකාරි කළමනාකාරවරයා ප්රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සරුංගල් යැවීමෙන් ගුවන්යානා වල ගමන්වලට බාධා ඇති කරන නිසා ඔහු මෙම ඉල්ලීම සිදු කර තිබේ.
ශ්රී ලංකාවේ දෙවැනි පාසල් නිවාඩු සමයත් සමග සරුංගල් වාරය ආරම්භ වීමට නියමිත හෙයින්, පසුගිය වසරවල ලද අත්දැකීම් මත මෙම ඉල්ලීම ප්රදේශයේ ජනතාවට ඉදිරිපත් කිරීමට කළමනාකාරවරයා පියවර ගෙන ඇත.
අගෝස්තු මාසය තුළ මඩවල , මාදුව , කළහපිටිය , පීල්ලවත්ත ආදී කුඹුරු යාය සහිත ප්රදේශවල වල මෙම සරුංගල් යැවීම ඉදිරි බහුලව සිදු වන හෙයින් එම ප්රදේශ ඔස්සේ ගුවන් යානා ද ඉතා පහතින් ගමන් ගන්නා නිසා මෙම සරුංගල් එම යානාවල පැටලී අනතුරු සිදුවිය හැකි බැවින්, ගුවන්තොටුපොළ අවට ප්රදේශවාසීන් මේ පිළිබඳ වඩාත් සැළකිලිමත් විය යුතු බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ප්රියන්ත ඒකනායක මහතා මේ පිළිබඳව කළ විමසීමකදී පැවසීය.
උදෑසන සිට සවස්වනතුරු ගුවන් තොටුපොළ අවට ඉහළ අහසේ බහුල ලෙස සරුංගල් යැවීම නිසා කටුනායක ගුවන්තොටුපොළ මෙන්ම ගුවන්යානා වල රේඩාර් පද්ධතිවලට , මෙම සරුංගල් අපහැදිලි , අවුල් සහගත දර්ශන ඇති කිරීම තවත් අනතුරුදායක කටයුත්තක් බවද පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ටී.කේ.ජී. කපිල
