මාස පහක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණු වෘත්තිය ක්‍රියාමාර්ග අත්හිටුවීමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද තීරණය කළා.
වැටුප් විෂමතා ඉවත් කිරීමට අයවැයෙන් මුදල් වෙන් කිරීමත් සමග මෙම තීරණය ගත්තද ජනවාරි වැටුපට එම මුදල් ලබානොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය යළි ආරම්භ කරන බවයි අද පැවති ගුරු විදුහල්පති වෘත්තිය සමිති සමුළුවේදී තීරණය කර තිබෙන්නේ.
වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කෙරුණේ පසුගිය ජූලි 12 වනදායි. ඊට විසදුම් යෝජනා කිරීම සදහා කැබිනට් මණ්ඩලය අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ද පත්කළා. ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්ද අමරවීර, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත එම අනුකමිටුව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග අවස්ථා කිහිපයකදීම සාකච්ඡා පැවැත්වූවා.
එම කමිටු යෝජනා සදහා කැබිනට් අනුමැතිය ද හිමිවුණා. අදියර කීපයකින් වැටුප් විෂමතා ලබාදීමට රජය යෝජනා ඉදිරිපත් කළද ඊට වෘත්තීය සමිති එකගත්වය පළනොකළ පසුබිමක වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණා. ඒ සදහා විසදුම් ලබාදෙමින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා එකවර විසදීම සදහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.
ඒ අනුව දැනට ගුරු හා විදුහල්පති වැටුප සදහා වෙන්කරනු ලබන රුපියල් මිලියන එක් ලක්ෂ නවදහසක මුදලට අමතරව තවත් රුපියල් මිලියන තිස්දහසක් වෙන් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ඉදිරිපත් කළ අයවැයෙන් පියවර ගෙන තිබුණා. මෙම පසුබිම තුළ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිත සමුළුවක් අද පැවැත්වුණා. වෘත්තිය ක්‍රියාමාර්ගය ලබන වසරේ ජනවාරි 20 වනදා දක්වා අත්හිටුවීම ඇතුලු යෝජනා 10 ක් සම්මත කර ගැනීමට එහිදී කටයුතු කෙරුණා.