දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේදී අද (02දා) අලුයම 5.00ට පමණ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ සිවු දෙනෙකු මියගොස් ඇති බව ගලේවෙල පොලීසිය පවසයි.
මෙසේ අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව, පියා, දියණිය සහ පුත්‍රයෙකු බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලීසිය ප්‍රකාශ කරයි.
කන්තලේ ප්‍රදේශයේ සිට අත්තනගල්ල ප්‍රදේශය බලා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් සහ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් මුහුණටමුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මෙම අනතුරින් මියගිය සිවුදෙනා අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ත්‍රිරෝද රථයේ තිබූ ලියකියවිලි සහ හැඳුනුම්පත්වලින් හඳුනාගත් බව පොලීසිය ප්‍රකාශ කරයි. මියගිය අයගේ මෘත දේහයන් ගලේවෙල සහ දඹුල්ල රෝහල්වල තැන්පත් කොට තිබේ.
ලොරි රථයේ රියදුරු සැකපිට ගලේවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථය පදවා ඇත්තේ වයස අවුරුදු විස්සක් පමණ වූ පුත්‍රයා බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.