ගම්වදින වනඅලි කැලෑ වදින ක්‍රමවේදයක් හදන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
වනඅලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.
දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දෙන වනඅලි ගම් වැදීමේ ගැටලුව වසර 40කට ආසන්න කාලයක් සාකච්ඡාවට ලක් වෙයි.
විවිධ විසඳුම් ක්‍රියාත්මක කළ ද ගැටලුව විසඳී නැත. මිනිසා සහ අලියා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථීර විසඳුම් සෙවීම ප්රමුඛ කාර්යක් බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටී.
වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලැසුම් පිළිබඳව අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
2019 වසරේ දී වනඅලි ගම් වැදීමෙන් මිනිස් ජීවිත 122ක් අහිමි විය. වනඅලි 407 දෙනෙකු මිය ගොස් තිබේ. මේ වසරේ ගතවූ මාස 08 තුළ අහිමි වූ මිනිස් ජීවිත ගණන 62කි. මියගිය අලි සංඛ්‍යාව 200කි. මේ නිසා වගා කටයුතුවලට, දෛනික ජන ජිවිතයට මෙන්ම වනඅලි ගහණයට එල්ල වී ඇති තර්ජනය අතිවිශාල බව ජනාධිපතිතුමා පැවසීය.
හෙක්ටයාර දොළොස් ලක්ෂයක කැලෑ බිමක් වනජීවි දෙපාර්තමේන්තුව සතුව තිබේ. වනසතුන්ගේ ආහාර පිළිබඳ සොයා බැලීම ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
දීර්ඝ කාලයක සිට පවතින ගැටලුවට විසඳුමක් සෙවීමට හෝ උපාය මාර්ග සකස් කිරීමට හෝ අදාළ ක්ෂේත්රවල නිලධාරීන්ට නොහැකිවීම ගැන ජනාධිපතිතුමා මවිතය පළ කළේය.
වනඅලි ගම් වැදීම වළක්වා ජන ජීවිතය සහ වගා බිම් ආරක්ෂා කිරීමට ස්ථීර විසඳුම්ක් සෙවීම සඳහා කමිටුවක් පත් කර තිබේ.
රක්ෂිත භූමිවල ඇති වැව් සහ ජලාශ ප්‍රතිසංස්කරණයට සහ ඒ ආශ්‍රිතව තෘණ වගාව ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
කඩොලාන සංරක්ෂණය සහ පුළුල්ව ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ. කඩොලාන වගා කිරීමේදී ජනතාවට ප්රතිලාභ හිමිවන අයුරින් නීති ලිහිල් කළයුතුව ඇතැයි ද ජනාධිපතිතුමා පැවසීය.
කඩොලාන ආශ්‍රිතව ඉස්සන් වගාව කරගෙන යාමට ඇති හැකියාව ද නිලධාරීහූ පෙන්වා දුන්හ.
ගංගා ආශ්‍රිතව වැලි ගොඩදැමීම පාලනයක් සහිතව කරගෙන යාමට එම ප්‍රදේශවල ජනතාවට අවසර දීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.
ජනතා උද්යෝගය මත ක්‍රියාත්මක ව්‍යාපෘති ජනතා අවධානයෙන් මිදී ඇති කාලයේදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් වගබලා ගතයුතු යැයි ජනාධිපතිතුමා පැවසීය.
අමාත්‍ය සී.බී. රත්නායක, රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ලේකම්වරු සහ නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

popular news
-
samson de silva Friday, 28 August 2020 08:49 AM
Appaa! Yaantham athi. Ethakota ema prasnayath wisanduwaa. Apey janaadipathi thumaata budu saranayi. Thawa monawada ratey thiyena prashna? Onama prasnayakata eka dawasin wisandum!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
