පාර්ලිමේන්තුව අක්‍රියව පවතින මොහොතක රටේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ පාරදෘශ්‍යභාවය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත්, කොරෝනා මර්දනයට ලැබුණු විදේශ අරමුදල් පිළිබඳ තොරතුරු ආණ්ඩුව විසින් වහා රටට හෙළිකළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.
අද (14දා) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා පවසා සිටින්නේ, කොරෝනා වසංගතය ගෝලීය වසංගත තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ පත් කිරීම හේතුවෙන් ලොව පුරා රටවල්, සංවිධාන සහ ආයතන කොරෝනා මර්දනය සඳහා හදිසි අරමුදල් ප්‍රදානයන් රැසක් මෙරටට සිදුකළ බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ඍජුවම මෙරටට ලබා දී ඇති ආධාර මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.9ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කරනු ලැබූවද ගැටලුව වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදුන් නිර්දේශ මත වෙනත් රටවල් , සංවිධාන සහ ආයතන මගින් ලැබුණු ආධාර මුදල් පිළිබඳ රජය නිවැරදි පැහැදිලි කිරීමක් නොකිරීම බවද වික්‍රමසිංහ මහතා සදහන් කළේය.
පාර්ලිමේන්තුවද අක්‍රීයව පවතින මොහොතක, රටේ මූල්‍ය කටයුතු පිළිබඳ පාරදෘශ්‍යභාවයකින් යුක්තව කටයුතු කිරීම රජයට පැවරී ඇති පැහැර හැරිය නොහැකි වගකීමක් බවද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
2017 වසරේදී චීනයේ ව්‍යාප්ත වූ සාර්ස් වසංගතයත් සමඟ ගෝලීය වසංගත තත්ත්වයන්ට මුහුණදීම සඳහා ලෝක බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක විශේෂ අරමුදලක් පිහිටුවන ලද බවත්, මෙරට රජය විසින් එම අරමුදලින්ද කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා ආධාර ඉල්ලා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේය.
මීට අමතරව ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කෝවිඩ් - 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සැකසීමේ ව්‍යාපෘතියෙන් මේ වන විටත් ශ්‍රී ලංකාවට මූල්‍ය පරිත්‍යාගයක් හිමි වී ඇති බවත්, දැනට පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආදායම් මට්ටම් බිඳවැටීම සහ අපේක්ෂිත ආර්ථික වර්ධන වේගයන් කරා ළඟාවීමට අපොහොසත් වීම යන කරුණු මත බොහෝ රටවල්, සංවිධාන සහ ආයතන මෙරටට ආධාර කිරීම සඳහා ඉදිරිපත්ව ඇති බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 1.9ක පරිත්‍යාගයට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල්ද ඇතුළුව විදේශ රටවලින් සහ සංවිධානවලින් සෘජු මූල්‍ය දායකත්වයන් රැසක්ද මෙරටට හිමිව ඇති බවත්, ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එම නිර්දේශ පදනම් මෙරටට හිමි වූ මූල්‍ය පරිත්‍යාගයන් පිළිබඳ පැහැදිලි විස්තරයක් රටට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
