කුඩා ව්‍යාපාර නගා සිටුවිම සදහා සහන පොළියට ණය මුදලක් ලබාදීමට රජය තීරණය කළ බවත් එම මුදල ලබාදිම ලබන මස සිට ක්‍රියාත්මක බවත් ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
අමාත්‍යතුමිය මෙම අදහස් පළ කරන ලද්දේ ගලෙන්බිදුණූවැව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැති රැස්වීමකට සහභාගි වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය -
“කොරෝනා වෛරසයෙන් මුළු ලොවම බියෙන් ඇළලී තිබෙන අවස්ථාවක ඔබ අප හමුවන්නේ. අපේ රට මේ තත්ත්වයෙන් මුදා ගැනීමට ජනාධිපතිතුමා, අගමැතිතුමා ලබාදුන් නායකත්වය, ගන්නා ලද ක්‍රියාමාර්ග, තීන්දු තීරණ, සෞඛ්‍ය අංශ බුද්ධි අංශ කටයුතු කළ ආකාරය නොවෙන්නට මේ රටේ විශාල ගණනක් වෛරසය ආසාදිතව මිය යන්න තිබුනා. ලෝකයේ බලවත් රාජ්‍යයන් අසාර්ථක වෙනකොට අපේ රට ඉන් මුදවා ගැනීමට රටක් විදිහට අපි සාර්ථක වෙලා තිබෙනවා.
ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනවා නම් පිටරටින් ගේන එක නවත්වන්න ඕනි. අපේ රටේ මිනිසුන්ගේ ජිවිත වලට නැගිටින්න ඉඩ දෙන්න ඕන. බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්කරලා ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් වැඩපිළිවෙළක් පටන් ගත්තා. ඔබ පටන් ගත් සුළු ව්‍යාපාර කොරොනා වෛරසය හේතුවෙන් උද්ගත වූ තත්ත්වය මත දැන් නැවතිලා තිබෙනවා.
අපි 5000 දිමනාව ලබාදුන්නත්, එම කුඩා ව්‍යාපාර නැවත ආරම්භ කරන්න ඒ මිනිසුන්ට ප්‍රාග්ධන මුදලක් අවශ්‍යයි. ඒ අනුව රජය, බැසිල් රාජපක්ෂ මහතා ප්රමුඛ කාර්ය සාධක බලකාය සාකච්ඡා කොට තීන්දු කළා මේ රටේ කුඩා ව්‍යවසායකයින්ට 4% පොලියට සුළු ණය මුදලක් ලබාදෙන්න. මෙ ඔබගේ ව්‍යාපාරය නැවත ආරම්භ කරන්න ලබාදෙන මුලික ප්‍රාග්ධන මුදලක්. එම ණය මුදල ලබාදීම ලබන මස සිට ක්‍රියාත්මක වෙනවා.
රටේ ජනතාව නිවෙස් වලට සීමා කළ වේලාවේ අපේ රටේ ගොවියන්ගේ කෘෂි භෝග උපරිමයෙන් මිලදී ගන්න රජය කටයුතු කළා. තමන්ගේ ජිවිකාව කරගන්න බැරි වුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 බැගින් රුපියල් ලක්ෂ 12,000ක් ලබාදීමට රජය කටයුතු කළා. විශ්‍රාම වැටුප ගැටලුවකින් තොරව ලබාදීමට කටයුතු කළා. රෝහල් සායනවලින් බෙහෙත් ගත් රෝගීන්ට තැපැල් සේවාව ඔස්සේ ඖෂධ ලබාදීමට කටයුතු කළා. රෝග පරීක්ෂණ කටයුතු අවශ්‍ය උපකරණ ගෙනවිත් අඩුපාඩුවක් නැතිව සිදු කළා. රජයක් විදිහට ඔබ අපට සතුටුයි අප පත් කර ගත් ජනාධිපතිතුමා ඇතුලු කැබිනට් මණ්ඩලය ලෝකයේ බොහෝ තැන් අසාර්ථක වෙද්දී සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙනවා.”
