කැස්සක් ඇවිත් මාස 13ක දරුවෙක් මරුට
නිවසේ හොඳින් සෙල්ලම් කරමින් සිටියදී හදිසියේ පැමිණි කැස්සක් නිසා මාස දහතුනක් වයසැති පිරිමි දරුවෙක් ඊයේ (22)රාත්රියේදී ඇල්පිටිය රෝහලේදී මිය ගිය බව බටපොළ පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බටපොළ සමගි මාවත සුරම් ගොවි පොළ පදිංචි රනේපුර හේවගේ කවිජිද් දෙව්සිත වනිගරත්න නමැති දරුවෙක් බවද පොලීසිය කියයි.
මේ දරුවාට කිසිදු රෝගාබාධයක් නොතිබූ බවත් ඊයේ (22) රාත්රියේ දරුවා කෑම කා නිවසේ නිවසේ සෙල්ලම් කරමින් සිටිය බවත් ඒ අවස්ථාවදී දරුවාගේ මව මුලුතැන් ගෙයි අස්පස් කරමින් සිට ඇති බවත් පොලීසිය කියයි.
ඒ අවස්ථාවේදී දරුවාට කැස්සක් ඇතිවී මුලුතැන් ගෙයි සිටි මව ළඟට දුවගෙන ගොස් ඇති බවත් ඒ අවස්ථාවේදී දරුවා මව උස්සා අත් දෙකට ගෙන ඇති බවත් පළමු කැස්ස පිට කර දෙවැනියට ආ කැස්ස පිට කර ගැනීමට නොහැකිව දරුවා මවගේ දෙඅත් මතට හිස කඩා පාත්වී ඇති බවත් පොලීසිය කියයි.
ඒ සමගම නිවැසියන් දරුවා බටපොළ රෝහලට රැගෙන ගොස් ඇති බවත් බටපොළ රෝහලින් ඇල්පිටිය රෝහළට මාරු කර යැවීමෙන් පසු එහි ප්රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවත් පොලීසිය කියයි.
මේ දරුවාගේ මරණ පරීක්ෂණය අද(23)ඇල්පිටිය මරණ පරීක්ෂක සාමවිනිසුරු ආර්.ගාමිණී ඩයස් මහතා විසින් ඇල්පිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණ. දරුවාගේ මරණය සම්බන්ධයෙන් යම් තීන්දුවකට පැමිණිය හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලබන විශේෂඥ අධිකරණ වෛද්යවරයාගේ නිගමනය අනුව ඇල්පිටිය හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ආර්.ගාමිණී ඩයස් මහතා කීවේය.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

