හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි පසුගිය පාර්ලිමේන්තුව අවසාන දිනයේ දී ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් එම පනත යටතේ ක්‍රීඩාවක් පාවා දුන්නේයැයි කිසිවෙකු හෝ අසත්‍ය චෝදනාවක් එල්ල කරන්නේ නම් එම පුද්ගලයාට වසර තුනක සිර දඬුවමක් ලබා දීමේ හැකියාව තිබෙන බව හිටපු සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඒ මහතා ඒ බව පවසා සිටියේ ඊයේ (04) මහනුවර දී පැවති රැස්වීමක් අමතමිනි .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා ,
2011 කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයේ දී තරඟය පාවා දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන යන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් පොලීසිය ප්‍රශ්න කොට චෝදනාවෙන් නිදහස් කරලයි තිබෙන්නේ. එම චෝදනාව බොරු චෝදනාවක් කියා පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් ප්‍රකාශ කර තිබෙනවා.
ඉතින් දැන් මම රජයට කියනවා මෙම බොරු චෝදනා ඉදිරිපත් කළ අය හට එරෙහිව නීතිමය පියවර ගන්න කියලා. මම නීතිපතිවරයාගෙනුත් මේ පිළිබඳව ඉල්ලා සිටිනවා . රජය මේ අය හට එරෙහිව නීතිමය පියවර ගන්නේ නැතිනම් පුද්ගලිකව ඕනෑම කෙනෙකුට ඒ සම්බන්ධයෙන් අධිකරණයට යාමේ හැකියාව තිබෙනවා . බොරු චෝදනා එල්ල කළ අයට විරුද්ධව අධිකරණයට යන්න කියලා මම මේ රජයට අභියෝග කරනවා .
අද අප රටේ වගේම ක්‍රීඩාවට ලැදි හැමදෙනාම කතා කරන්නේ 2011 වසරේ ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය පාවාදීමේ චෝදනාව පිළිබඳවයි. මෙම චෝදනාවෙන් කුමාර සංගක්කාර මහේල ජයවර්ධන ඇතුළු ජාත්‍යන්තරය පිළිගත් ක්‍රීඩකයන්ට විශාල අපහසුතාවයකට මුහුණ දෙන්න සිදු වුණා . මෙම චෝදනාව එල්ල කළ අය මුලදී කිව්වා ක්‍රිකට් කණ්ඩායම මෙම තරඟය පාවාදීමට සම්බන්ධයි කියලා. පස්සේ ඒ අය කිව්වා කණ්ඩායම නෙවෙයි ක්‍රිකට් පරිපාලනය මේ තරඟය පාවා දීමට සම්බන්ධයි කියලා. ක්‍රිකට් තේරෙන පුංචි ළමයෙකුට උනත් තේරෙනවා පරිපාලකයන්ට ක්‍රිකට් තරගයක් පාවා දෙන්න බැහැ කියලා . කාමරවල ඉඳගෙන ක්‍රිකට් ක්‍රීඩාව නරඹන අයට තරඟය පාවා දෙන්න බැරි බවත් තරගය පාවාදීම සිදු කළ හැක්කේ ක්‍රීඩකයන්ට පමණක් බවත් ඕන කෙනෙකුට වැටහෙනවා . මේ ක්‍රීඩා ඇමතිවරයාට ඒ වගේ සරල දෙයක්වත් තේරුම් ගන්න බැහැ .
අපි කල්පනා කරන්න ඕනෑ මේ ක්‍රීඩකයන්ට ඇයි මේ වගේ චෝදනාවකට මුහුණ දෙන්න සිදු වුණේ කියලා . දැනට සති කීපයකට කලින් රජය රුපියල් කෝටි 40ක් වැය කොට නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න උත්සාහ කළා. මම හිටපු ක්‍රීඩා අමාත්‍ය වරයෙකු වශයෙන් දන්නවා මේ රටේ ක්‍රීඩාංගණ අවශ්‍ය තරමට තිබෙන බව . රටේ ක්‍රිකට් ක්‍රීඩාංගණ ඕනෑවටත් වඩා තිබෙන නිසා සංගක්කාර මහේල ඇතුළු ක්‍රීඩකයන් ඒකට විරුද්ධව අදහස් පළ කළා. එයට පළිගැනීමක් වශයෙන් තමයි මේ වගේ අභූත චෝදනාවක් ඒ ක්‍රීඩකයන්ට එල්ල කළේ . අපේ රටේ ක්‍රීඩාව වගේම ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් වූ මෙම චෝදනාව එල්ල කළ අයවලුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නේ දැයි අපි ඉදිරි දින කිහිපය තුළ දැඩි විමසිල්ලෙන් බලා සිටිනවා යනුවෙන් සඳහන් කළේ ය.
