කහ ආනයනය සඳහා වූ තහනම ඉවත් කර නෑ - ඇමති බන්දුල
කහ ආනයනය සඳහා වූ තහනම ඉවත් කර නොමැති බවත්, ඒ අනුව එම තහනම ඉවත් කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් 'අද' කළ විමසීමේදී හෙතෙම සඳහන් කළේ අපනයන නිෂ්පාදන අවශ්‍යතා සඳහා පමණක් විදේශයෙන් කහ ආනයනය කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් පමණක් අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව පවත්නා කහ ආනයන සීමා යම්තාක් දුරට ලිහිල් කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඒ අනුව ගන්නා තීන්දු හා තීරණ මත පදනම්ව ඉදිරි පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
කහ ආනයනය සඳහා පනවා ඇති සීමා හේතුවෙන් තමන් විවිධ ගැටලුවලට මුහුණපා ඇති බවට අපනයන අවශ්‍යතා සඳහා කහ ආනයනය කරන ශ්‍රී ලාංකික අපනයනකරුවන් හා සමාගම් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම්වත් කළ බවත්, ඒ අනුව අමාත්‍යවරයා ඉහත තීරණය ගත් බවත් වෙළෙඳ අමාත්‍යාංශය පවසා සිටියේය.
කෙසේ වුවද මෙම නීති ලිහිල් කිරීම සාමාන්‍ය වෙළෙඳ පොළ අවශ්‍යතා වෙනුවෙන් කහ ආනයනය සඳහා සිදු කරනු ලබන්නක් නොවන බවත්, හුදෙක්ම දේශීය කහ අපනයනකරුවන්ගේ හා එම සමාගම්වල අපනයන කටයුතු සඳහා පමණක්ම සිදු කෙරෙන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
