දෙමාපියන් උදෙසා පවා සිය දුවා දරුවන්ගෙන් ගෞරවනීය අවමංගල්‍ය උළෙලක් අහිමි වන යුගයක,සිය නිවසේ වසර 25 ක් ඇති දැඩිවුණු තිරිසන් සත්වයෙකු නමින් පාංශ කූලය සහිත පූර්ණ ආගමික වතාවත් පවත්වූ අවමංගල්‍ය උළෙලක් පිළිබදව අපට දැනගන්නට ලැබිණි.
පුත්තලම මදුරන්කුලිය වීරපුර පදින්චි පැන්ටලින් විජේසිංහ මහතා,සිය දරුවෙකු මෙන් නිවසේ හැදුණු වැඩුණු හඳයා නම් ගවයා උදෙසා මෙම අවමංගල්‍ය සත්කාරය සිදු කළේ ය. සිව් වසරකට ආසන්න කාලයක් ඔත්පලව සිටි හඳයාට පැන්ටලින් මහතා ඇතුලු පවුලේ උදවිය නොමසුරුව උපස්ථානයන් සිදු කර ඇත.
හඳයාගේ පාංශකූල වතාවත් සදහා කල්පිටිය ශ්‍රී අන්තර් සමුද්‍ර පිරිවෙණේ භික්ෂූන් වහන්සේලා සත් නමක් වැඩියෝ ය.එහිදී අනුශාසනාව පවත්වමින් පුත්තලමදිසාවේ ප්‍රධාන සංඝ නායක,කල්පිටිය ශාසනා රක්ෂක බළ මණ්ඩලයේ ලේකඛාධිකාරී මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් මෙසේ පවසා සිටින ලදී.
"වැදූ මව හැදූ පියා වයස්ගත වුණාම මහ පාරට,මහලු මඩමට විසි කරණ දූ දරුවන් සිටින යුගයක,මෙතුමා වියපත් තිරිසනාට කරුනාවෙන් උපස්ථානය කළා. ලෙඩදුකින් රෝහල්වල මියයන මව් පියන්ගේ මිනිය භාර ගන්නේ නැති දරුවන් සුලබ යුගයක මෙතුමා ගරු කටයුතු අවමගුලක් තමන්ගේ තිරිසනාට ලබා දෙනවා.පැන්ටලින් මහතාගේ මේ දුර්ලභ සත් ක්‍රියාව අගය කළ යුත්තේ එවන් පසු බිමකයි."
පැන්ටලීන් මහතා වීරපුර තැපල් දෙපාර්තුමේන්තුවේ සේවයේ නියුතු කතෝලික බැතිමතෙකි.



