කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින මධ්‍යස්ථාන දෙකක එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර , එහිදී එන්නත් ලබා ගැනීමට පැමිණ සිටි පිරිසට ප්‍රමාණවත් පරිදි එන්නත් ලැබී නොමැති නිසා , එම කොට්ඨාසයේ එන්නත් ලබා දීම සදහා පැමිණ සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට , එම ජනතාව බැන වදිමින් තර්ජනය කළ බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .
රද්දොළුගම ප්‍රජා ශාලාවේ සහ කෝවින්න විහාරථානයේ මෙම එන්නත්කරණ වැඩසටහන අද දින උදෑසන සිට ක්‍රියාත්මක විය.
එහිදී මෙම මධ්‍යස්ථාන වලින් එන්නත් ලබා ගැනීම සදහා දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණ තිබේ .
මෙම මධ්‍යස්ථාන දෙක තුළ දී ලැබී තිබූ එන්නත් මාත්‍රා 1,400 ක් ලබා දුන්න ද , මෙම එන්නත් ලබා ගැනීම සදහා පැමිණ සිටි ඉතිරි පිරිස තමන් වෙත ද එන්නත් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙලෙස කළහකාරී ලෙස හැසිරී තිබේ .
තමන් අවශ්‍ය එන්නත් ඇනවුම් කළ ද , ඒවා කලට වේලාවට නොලැබීම නිසා තමන් ඇතුළු අනෙකුත් මහජන පරීක්ෂකවරුන් මෙසේ අපහසුතාවට පත් වූ බව ද සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය .
එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ වයස අවුරුදු 60 ට වැඩි හෘද රෝගීන් විශාල පිරිසක් සිටින අතර , ඔවුන්ට මේ වනතෙක් කොරෝනා මර්දන පළමු එන්නත ද ලබා දී නොමැති බවට මෙම රෝගීන් පිරිසක් මැසිවිලි නගති.
කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 55 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
ඒ අනුව මෙම කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 1,700 දෙනෙකු වාර්තා වී තිබේ.