කටුනායක ගුවන්තොටුපොළ සඳහා ඊ - පාස්පෝර්ට් ක්‍රමයක් හඳුන්වාදීම සඳහා මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය දකුණු ආසියාවේ සියලු රටවල් අබිබවා පළමු ස්ථානය දිනා ගෙන ඇති බවත් ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
කටුනායක සිවිල් ගුවන් සේවා නව ගොඩනැගිල්ලේ , ශ්‍රවණාගාරයේදී ඊයේ (25දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් 2018 වසරේ දී සිදු කරන ලද අඛණ්ඩ නිරුපද්‍රිතතා ඇගයීම් (Cotinuous Monitoring Assessment ) විගණන පරීක්ෂණයේදී ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය දකුණු ආසියාවේ සියලු රටවල් අබිබවා පළමු ස්ථානය දිනා ගෙන ඇති බවත් එය ජාත්‍යන්තර තලයේ වැදගත් ජයග්‍රහණයක් බවත් හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට අවශ්‍ය ඉක්මන් සහ කඩිනම් පියවර ගන්නා අතර නේපාලයේ මෙන් දියුණු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම තම අභිප්‍රාය බවත් ඒ සදහා මාසයක කාලයක් තුළ ගුවන් යානා හැසිරවීමට පර්යන්තයක් සහ ගුවන් යානා නැවැත්වීමට "හැගර්" අංගෙණයක්ද ඉදිකිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.
ඒ අනුව මඩකලපුව , සීගිරිය ආදී ප්‍රදේශවලට කටුනායක සිට ගුවන් ගමන් ආරම්භ වන බවත් ප්‍රකාශ කළේය.
කටුනායක ගුවන්තොටුපොළ තුළ දැනට පවතින තදබදය අවම කිරීම සදහා දෙවන පර්යන්ත ගොඩනැගිල්ලක් සහ නව ගුවන් ධාවන පථයක් ඉදිකිරීමට ජපානයේ ජයිකා ආයතනය සමග කටයුතු කිරීමට උත්සාහ කළද , එම කොන්ත්‍රාත්කරුවන් ඉදිරිපත් කළ මිල ගණන් , පවතින මිලට වඩා 47% ක් වැඩි වූ බැවින් , එම කොන්ත්‍රාත්කරුවන් අවලංගු කර , ගුවන්තොටුපොළ මුදල් යොදවා මාස 09 ක් තුළ තාවකාලික නව මගී පර්යන්තයක් ඉදිකිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.
කටුනායක ගුවන්තොටුපොළ ආගමන - විගමන කටයුතු නිසා නිතර දොස් ඇසීමට සිදු වන බවත් , එයට ආසන්න සිද්ධිය ලෙස ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතිකයන් 38 දෙනෙකු පිළිබඳව සිද්ධිය නිදසුනක් බවත් ප්‍රකාශ කළේය .
ඒ හේතුවෙන් එයට විසඳුමක් ලෙස ඊ - පාස්පෝර්ට් (e - Passport ) ක්‍රමය ප්‍රමාදයකින් තොරව කටුනායක ගුවන්තොටුපොළ වෙත හඳුන්වා දීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට සහ මේ පිළිබඳව යෝජනා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ආගමන - විගමන නිලධාරීන්ගේ සහාය නොමැතිව ක්‍රියාත්මක වන ඊ.- කාඩ් (e - Card ) සහ ඊ.- ගේට්ටු (e - Gate) ක්‍රමය භාවිත කරමින් ගුවන් තොටුපොළට ඇතුළුවීමට සහ පිටවීම කඩිනමින් සිදු කළ හැකි බවත් එහිදී වැඩිදුරටත් පැවසීය.

ටී.කෙ.ජී කපිල