ඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.
මෙරට දෛනික ඔක්සිජන් අවශ්‍යතාව මේ වන විට ඉහළ ගොස් ඇතැයිද ඒ අනුව මේ වන විට අවශ්‍ය ඔක්සිජන් ලබාගැනීමට මූලික අවධානයක් යොමුව ඇතැයිද අමාත්‍යවරයා කීය.
“ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ අංශයේ”නියෝජිතයන් සමඟ සූම් තාත්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (30) පස්වරුවේ අමාත්‍යවරයා මෙම සාකච්ඡාවට එක් විය.
මෙරටට ඔක්සිජන් ලබා දීමේදී ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ අංශයේ සහයෝගයද අතිශය වැදගත් බවත් ඒ වෙනුවෙන් ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලැබෙනු ඇති බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.
අද වන විට මෙරට කොවිඩ් මර්දනය උදෙසා රටවල් රැසක සහයෝගය ලැබෙමින් පවතින බවද ඒ වෙනුවෙන් ප්‍රණාමය පුද කරන බවද අමාත්‍යවරයා පැවසීය.මේ මොහොතේ මෙරට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් මූලික අවධානය ලබා දෙන අතරම ඒ උදෙසා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමට රජය ප්රමුඛව කටයුතු කරන බවද හෙතෙම කීය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සම්බන්ධයෙන් වන ගැටලුව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇතැයිද එම වාර්තාවට අනුව ඉදිරියේදී නිල වාර්තාවක් ඉදිරිපත් කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.