බන්ධනාගාර තුළ මත්කුඩු, ජංගම දුරකථන තිබේනම් බන්ධනාගාර බුද්ධි අංශයක් තිබීමෙන් ඵලක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ අදහස් පළකළේ ඊයේ (27දා) දින රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
එසේම මරණ දණ්ඩනය පිළිබඳව අදහස් ප්‍රකාශ කළේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවම ගෙන නොමැති බවත් ඇය සඳහන් කළාය.
“බුද්ධි අංශය මුවාවෙන් වෙන වෙන වැඩකටයුතු වෙනවානම් මට ගොඩක් පැමිණිලි ඒ සම්බන්ධයෙන් ලැබිලා තියෙනවා. ඉදිරියට මොකක්ද කරන්නේ කියන දේ ගැන මම තාමත් තීරණයක් අරන් නෑ. බුද්ධි අංශයට යම් යම් පාලනය කරන්න බැරි දේවල් ඇති ඇතැම් බුද්ධි අංශය හොයාගත් දේවල්වලට දෙපාර්තමේන්තුව හැටියට පියවර අරන් නෑ. බුද්ධි අංශය තියෙනවා නම් බුද්ධි අංශයෙන් ලැබෙන තොරතුරු අනුව වැඩකටයුතු කරන්න ඕනි. එහෙම අංශයකින් වැඩක් නෑ. බන්ධනාගාර බුද්ධි අංශය ඉදිරියට පවත්වගෙන යනවද නැද්ද කියලා මම තීරණයක් ගන්නවා.
මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේ ජනාධිපතිතුමා. ඒකට අපිට ගොඩක් කරුණු හොයන්න තියෙනවා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වුණු අය හොයන්න ඕනි. ඊට පස්සේ නඩු කටයුතු සම්බන්ධයෙන් විස්තරයක් ලබාගන්න ඕනි. නිතිපති දෙපාර්තමේන්තුව හරහා ඒ අයගේ නඩුව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරගන්න ඕනි. ඊට පස්සේ තමයි ඊළග කටයුතු කෙරෙන්නේ.
බන්ධනාගාරයට කරන්න තියෙන්නේ එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න විතරයිනේ. අලුගෝසු තනතුර මෙහෙමයි. ඒක පවතින තනතුරක්. අවශ්‍ය නම් බදවා ගන්න පුළුවන්. සමහරු නිකන් වැඩකරන්නත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක හොදයිනේ. ආණ්ඩුවට බරකුත් නෑ. මේක එච්චර ගැටළුවකුත් නෑ තාම. එල්ලා මරන එක සම්බන්ධයෙන් අපි තාම තීරණයක් අරන් නෑ. යම් යම් කරුණු හොයාබලලා අවශ්‍ය දේවල් හෙළිදරව් කරගෙන තියෙනවා.”