එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු මංගල සමරවීර මහතා මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වුණේ ඇයි කියලා අද සමහරු අපෙන් අහන බවත් ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂයේ දැන් ඉන්න අයත් ගහන බල්ටි නිසා හෙට අනිද්දා වනවිට මාධ්‍යයට විනාඩි තිහෙන් තිහට බ්‍රේකින්ග් නිව්ස් ගහන්න වෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (10) කෙරවලපිටිය ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා ලිහිසිතෙල් නිෂ්පාදනාගාරය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,
අපිට තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමේ ගැටලුවක් නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂයේ සජිත් හා රනිල් පිල අතර තියෙන ගැටුම නිසා මහජනතාවට තේරුම් ගොස් තිබෙනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක අනාගතයක් නැහැ කියලා. ඒ නිසා මේ වනවිට ගම්වල ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ බුරුතු පිටින් අපිත් එක්ක එකතු වෙනවා.
රටේ තිබෙන දේශපාලන පක්ෂ කැඩී යාම හා දුර්වලවීම මම හොඳ දෙයක් විදියට කල්පනා කරන්නේ නැහැ. ආණ්ඩුවක් සාර්ථකව ඉදිරියට යන්න නම් ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුයි. ශක්තිමත් විපක්ෂයක් තිබෙන විට තමයි ආණ්ඩුවකට වුණත් ඒ අභියෝගවලට මුහුණ දීලා වැඩ කරන්න හිතෙන්නේ. ඒ නිසා ඉදිරි මහමැතිවරණයේ දි ශක්තිමත් විපක්ෂයක් අපේ ආණ්ඩුවට නොමැති බව සහසුද්දෙන්ම දැන් පැහැදිලියි.
මට තිබෙන තොරතුරු අනුව නම් එක්සත් ජාතික පක්ෂයෙන් හා සජිත් පිළෙන් නාමයෝජනා දුන්න විශාල පිරිසක් ඉදිරියේ දී මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වේවි. ඒ අය අපිට එක් වෙනවාද නැද්ද කියන එක නම් මම දන්නේ නැහැ. ඒ වුනාට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයින් නම් විශාල පිරිසක් දැනටමත් අපි වටා ඒකරාශි වෙමින් සිටිනවා.
අද රටේ ජනතාවට තිබෙන ප්‍රධාන අපේක්ෂාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමායි. එතුමා ආවට ගියාට තින්දු තිරණ ගන්නා කෙනෙක් නොවන බව ක්‍රියාවෙන්ම ඔප්පු කර අවසන්. කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට එතුමා දුන් නායකත්වය අතිවිශිෂ්ටයි. ලෝකයේ දියුණු රටවල දහස් ගණනින් කොවිඩ් 19න් මරණයට පත් වෙද්දි අපේ ජනාධිපතිතුමා වසංගත තත්ත්වය පාලනය කිරීමට හා රටේ ජනතාව කුසගින්නේ නොතබමින් සියලු දෙනා රැකගනිමින් කටයුතු කළ ආකාරය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මහජනතාව අගය කරනවා.
ඒ නිසා තුනෙන් දෙකක බලයක් නොව ඊටත් වඩා සමහර විට හයෙන් පහක බලයක් දක්වා මේ මහමැතිවරණයෙන් වත්මන් රජය ඉහළට ඔසවා තැබීමට රටේ මහජනතාව කටයුතු කරන බව අපිට විශ්වාසයි. සමහරු කිව්වේ මංගල කියන්නේ මාතර ඡන්ද මැසිම කියලා. ඒ වුනාට “ඔන්න කණෝ පිනුම් කිව්වා වාගේ” මෙන්ම “පුදන කොටම කාපි යකා” කිව්වා වාගේ මැතිවරණෙට දින දෙන්නටත් කලින් මංගල ඉවත් වුනේ ඇයි කියන එක ඉදිරියේ දි දැක ගන්නට පුළුවන් වෙයි. ඒ නිසා මාධ්‍යවේදීන්ගෙන් මම ඉල්ලා සිටින්නේ හොඳ හොඳ බ්‍රේකින්ග් නිව්ස් අපේක්ෂාවෙන් ඉන්නා ලෙසයි.
