රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේ සතිය ඇතුළත ලංකාවට පැමිණ අධිකරණයට බාරවීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
‘යහපාලන වින්දිතයෝ‘සංවිධානය හරහා ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට බාරවීමට හිටපු තානාපතිවරයා සැලසුම් කර තිබෙන බවත්,ඊට අදාළව ඔහු ජීවත්වන රටේ අධිකරණයට ඊයේ (25දා)දිනයේදී කරුණු වාර්තා කර තිබුණු බවත් ඒ මහතාට සමීප ආරංචි මාර්ග අනාවරණය කළේය.
හිටපු අග්‍රමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතා සභාපතිවරයා වශයෙන් හා මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලේකම්වරයා වශයෙන් කටයුතු කරන ‘යහපාලන වින්දිතයෝ‘සංවිධානයමගින් උදයංග වීරතුංග මහතා අධිකරණයට බාරවීමට සූදානමින් සිටින බවට අද (26දා) දිනයේදී මෙරට අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා කිරීමට සැලසුම් කර ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පසුගිය දින කිහිපයේදී ‘යහපාලන වින්දිතයෝ‘සංවිධානයේ ප්‍රධානීන් සමග උදයංග වීරතුංග මහතා දුරකථන මගින් අදහස් හුවමාරුකරගෙන තිබෙන අතර, එහිදී එකඟතාවට එළඹ තිබෙන බවද වාර්තා වෙයි.
උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට පැමිණි පසුව ආරක්ෂාව,නීතිමය ආවරණය ආදී සියලු කටයුතු ‘යහපාලන වින්දිතයෝ‘සංවිධානය මගින් බාරගන්නා බවට ඒමහතාට දැනුම් දී තිබෙන අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ලංකාවට පැමිණෙන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබේ.
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පළිගැනීමට ලක්වූ රණවිරුවන්,රාජ්‍ය නිලධාරීන්,ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයන් 8500ක් පමණ එක්ව ‘යහපාලන වින්දිතයෝ‘සංවිධානය පිහිටුවා තිබෙන බවත්,එම වින්දිතයන් සියලු දෙනාට අවශ්‍ය නීතිඥ සහාය,ආර්ථික ශක්තිය ලබාදීම ඇතුළු කටයුතු විවිධ පාර්ශ්ව විසින් බාරගෙන තිබෙනබවත් එහි ප්‍රකාශකයෙක් පැවසීය.
