උඩරට වැවෙන එළවළු මිල ගණන් ඉහළ යෑම ජූලි මාසය අවසන් වනවිට යථා තත්ත්වයට පත්වනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත දන්වා තිබේ.
දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හා අධික සුළං තත්ත්වය හේතුවෙන් එළවළු කොටු විනාශ ඇති අතර, මේ දිනවල උඩරට එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි.
මාස දෙකකට අධික කාලයක් පැවැති අයහපත් කාලගුණික තත්ත්වය උඩරට එළවළු වගාව කෙරෙහි බරපතළ ලෙස බලපෑම් එල්ල කර ඇති බවත්, අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ එළවළු වගා බිම් බහුතරයක් කුණු වී විනාශ වී ඇති බවත් පෙන්වා දී ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි සුළං තත්ත්වයන්ද භෝග වගාව කෙරෙහි බලපෑම් එල්ල කර ඇතැයිසඳහන් කර තිබේ.
දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි උඩරට එළවළු මිල ගණන් ඉහළ ගියද, පහත රට එළවළු මිල කෙරෙහි බලපෑමක් එල්ල වී නැතැයි වාර්තා වේ. කෙසේ වුවද දැනට පවතින උඩරට එළවළුවල මිල ඉහළ යෑම ජූලි මාසය අවසන් වනවිට යථා තත්ත්වයට පත්විය හැකි බවත්, මේ වනවිට යළිත් ගොවි ජනතාව වගා කටයුතු ආරම්භ කර ඇති බවත් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එළවළු මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුවේදීද සාකච්ඡාවට ලක් වූ බවට එහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා, එළවළු මිල ඉහළ යෑම පාලනය සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සාකච්ඡා වූ බවද පවසා සිටියේය.
