මෙරට තහනම් වල්නාශක ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට ඉතා රහසිගතව ගෙනවිත් ගොවීන්ට තොග පිටින් අලෙවිකරණ ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් ඊයේ (10 ) දින රාත්‍රියේ හැකිවිය.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි කෘෂි රසායන අලෙවි කරන වෙළඳසැලක හිමිකරු මෝටර් රථයක් ද සමඟ තහනම් වල්නාශක නොකියා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පවසති.
පොලීසියට ලැබුණු තොරතුරක් මත ඊයේ දින පෙරවරුවේ සිට මාර්ග කිහිපයක රැකවල් දාගෙන සිට ඇත්තේ ලොරි රථයකින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ වෙළඳසැලකට මෙම තහනම් වල්නාශක තොග ලැබෙන බවට ලද තොරතුරක් මතය . එහෙත් එම ලොරි රථය ඉතා සියුම් ආකාරයකින් වෙනත් වාහනයකින් වෙළෙඳසැලට පැමිණ තිබෙන බව පොලීසියට තොරතුරු ලැබී තිබිණි.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු වෙළඳසැල් හිමිකරුගේ මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී එහි සුක්ෂම ලෙස සඟවා තිබූ ග්‍රෑම් සීයේ ඇසුරුම් තහනම් වල්නාශක පැකට් 1028, එමෙන්ම ලීටර් හතරේ ඇසුරුම් හතරක්, ලීටර් හයේ ඇසුරුම් හයක්, ලීටර් එකේ ඇසුරුම් හයක් සහ කිසිදු ආකාරයකින් මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි බව පවසන ලීටර් එකේ දියර වර්ග හයක් සොයාගත් බව පොලීසිය කියයි.
පසුව දඹුල්ල කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර් .එම් .පී .ජය කැලුම් මහතාගේ දැනුම්දීම පරිදි මෙම ස්ථානයට පළිබෝධ නාශක පාලනය කිරීමේ මධ්‍යම පළාත් බලයලත් නිලධාරී දඹුල්ල සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ ඩබ්ලිව්. ජේ සමරවික්‍රම මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ මේවා පරීක්ෂාවට ලක් කිරීම සිදු කළහ.
සමරවික්‍රම මහතා කියා සිටියේ මෙම කෘමිනාශක මෙරට තහනම් ඒවා බවත් ඉතා සූක්ෂම ලෙස විදේශ රටවලින් බෝට්ටු මගින් මෙරටට ගෙනවිත් රටපුරා බෙදා හැරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවය.
ජාවාරමේ කොටසක් හෝ අත්අඩංගුවට ගැනීමට හැකිවීම විශාල සතුටක් බවද ඒ මහතා එහිදී සඳහන් කළේය.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවීන් හට ඉතා අධික මිල ගණන් යටතේ මෙම වල්නාශක ඉතා රහසිගතව අලෙවි කිරීම කාලයක් තිස්සේ සිදු කරමින් ඇති බවද අනාවරණය වී තිබේ.
එමෙන්ම ඉතා කුඩාවට කෘමිනාශක අලෙවි සැල පවත්වාගෙන යෑමට බොහෝ ව්‍යාපාරිකයෝ පිට පළාත්වල සිට දඹුල්ලට පැමිණ ඉතා කෙටි කාලයකින් ඔවුන් අධිසුඛෝපභෝගී ජීවිත ගත කිරීමත් එමෙන්ම ඉඩකඩම් මිලදී ගැනීම සහ තම ව්‍යාපාරික ස්ථාන සීඝ්රයෙන් දියුණු වීම පිළිබඳව ප්‍රදේශයේ ජනතාවට ද බරපතළ සැකයක් මතුව පැවතී බව ජනතාව පවසති .
එහෙත් ඉතා සංවිධානාත්මකව මුහුදු මඟින් විශාල ප්‍රමාණයේ කෘමිනාශක වල් නාශක පමණක් නොව බීජ වර්ගද ගෙන්වා ගොවීන්ට අලෙවි කිරීම මෙම ජාවාරමේ මෙම පිරිසගේ ආදායම් මාර්ගය බවට පත්ව ඇතැයි බොහෝ දෙනෙකු අනාවරණය කලද බලධාරීන් නිහඬව සිටි බව ජනතාව කියති .
දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම කෘමිනාශක වල්නාශක තොගය සහ වෙළඳසැල් හිමිකරු මෝටර් රථය පළිබෝධ නාශක පාලකවරයා වෙත භාර දීමෙන් අනතුරුව ඔවුන් මෙම පිරිස සහ භාණ්ඩ දඹුල්ල පොලීසියට භාරදුන් බව සඳහන් කළේය.
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් . පී .එදිරිසිංහ මහතා කියා සිටියේ භාර දුන් මෙම සැකකරුවන් සහ වල්නාශක තොගය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ය.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

