ඇමෙරිකා යෝජනාවලිය අමූලික අසත්‍යයි
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ඇමෙරිකාවේ කොංග්රස් සභාවට හඳුන්වාදී ඇති යෝජනාවලිය අමූලික අසත්‍යයක් බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම යෝජනාව එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී මත ඉදිරියට ගෙන යාම සඳහා එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිසක් කොංග්රස් සභාවට ඉදිරිපත් කළ යෝජනාවක් බවද විදේශ අමාත්‍යාංශය පවසයි.
මේ පිළිබඳව කොංග්රස් සභාව දැනුවත් කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය
“එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී ඩෙබෝරා කේ. රොස් මහත්මිය විසින්, තවත් නියෝජිත මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වන බිල් ජොන්සන් මහතා, ඩැනී කේ. ඩේවිස් මහතා, බ්‍රැඩ් ෂර්මන් මහතා සහ කැතී මැනින් මහත්මිය සමඟ එක්ව 2021 මැයි 18 වැනි දින එම කොන්ග්රස් සභාව වෙත හඳුන්වා දෙන ලද අංක H.RES.413 දරන යෝජනා සම්මුතිය කෙරෙහි විදේශ අමාත්‍යාංශය අවධානය යොමු කරයි. එම යෝජනා සම්මුතිය 2021 මැයි 18 වැනි දින කොංග්රස් සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
සනාථ නොකරන ලද, පදනම් විරහිත සහ අමූලික අසත්‍ය කරුණු සහ එම යෝජනාවේ අභිප්‍රාය පිළිබඳව බරපතල සැක මතු කරන චෝදනා අඩංගු, එම යෝජනාවේ අන්තර්ගතය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි ලෙස විරෝධය පළ කරයි.
මෙම යෝජනාවේ සාවද්‍ය, පක්ෂග්රාහී සහ ඒක පාර්ශ්වීය ස්වභාවය පිළිබඳව සලකා බැලීමේ දී, මෙය හුදු මානව හිමිකම් යෝජනාවක් නොවන බව සඳහන් කළ හැකි වන අතර, මෙය ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 32 ක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජනපද කොන්ග්රසය තුළ සිටින එල්ටීටීඊ හිතවාදී කල්ලියකගේ බලපෑම මත ගෙන එන ලද්දක් ලෙස පෙනී යයි.
ශ්‍රී ලංකා රජය සිය ප්‍රතිචාරය වොෂිංටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා, කොන්ග්රස් සභාවේ විදේශ කටයුතු කමිටුවේ සහ එම සභාවේ ආසියාව පිළිබඳ අනු කමිටුවේ නියෝජිතයින් වෙත සහ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම සඳහා කටයුතු සිදුකරමින් සිටියි.”

popular news
-
Kumar Thursday, 03 June 2021 12:09 AM
Lankawata amerikawa mokatada. Cheene inne.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

