ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආරක්ෂක හා බුද්ධි අංශ නැවතත් ප්‍රතිසංවිධානය කිරීමට සිදුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
ඉන්දියාවේ භාරත් ශක්ති පුවත් සේවයේ නිටින් ගෝක්ලේ මහතා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ආර්ථිකය සංවර්ධනය කිරීමේදී කෘෂිකර්මය, තාක්ෂණය, ධීවර හා සංචාරක ක්ෂේත්‍ර ගැන අවධානය යොමුකර ඇති බවත් ඔහු සඳහන් කළේය.
ආරක්ෂාව
“අපි ජනතාවට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා. අපට ක්‍රියා කරන්න තිබෙන විශේෂිත අංශ පිළිබඳ අප හඳුනාගෙන තිබෙනවා. අංක එක තමයි රටේ හා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම.
මේ නිසා මට ඇතැම් දේවල් නැවත සකස් කරන්න වෙනවා. විශේෂයෙන්ම ආරක්ෂක අංශ හා බුද්ධි අංශ තුළ. ඊළඟට ආර්ථිකය. අපි අවධානය යොමුකළ යුතු විශේෂිත ක්ෂේත්‍ර පිළිබඳ හඳුනාගෙන තිබෙනවා. ආරක්ෂාව හා ආර්ථිකය තමයි අපේ මූලිකම අවධානය.
ඔබගේ ප්‍රතිපත්ති තුළ ආරක්ෂාවට මුල් තැන දෙන්නේ නැත්නම් ආරක්ෂාව පහළටම වැටෙනවා. ඒක තමයි සිදුවුණේ. පසුගිය රජය ජාතික ආරකෂාවට ප්‍රමාණවත් සැලකිල්ලක් දැක්වූයේ නෑ.
විශේෂයෙන්ම ඔවුන් ජාතික ආරක්ෂාව වැදගත්කම වැරදියට වටහාගත්තා. ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරන්න නම් මුලින්ම රට තුළ ස්ථාවරත්වයක් ඇති කරන්න ඕන. එතකොට විදේශීය ආයෝජකයන්, දේශීය ආයෝජකයන්, දේශීය ව්‍යාපාරිකයන් රට තුළ ආයෝජනය කරනවා.
පසුගිය රජය ප්‍රමාණවත් අවධානයක් රටේ ආරක්ෂාවට ලබා දුන්නේ නෑ. තවත් දේවල් සිදුවුණා. විශේෂයෙන්ම අපගේ මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළා. මෙය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ මනසට බලපෑමක් ඇති කළා.
බුද්ධි අංශවල විවිධ අංශ තිබෙනවා. ඒ අතරින් රාජ්‍ය බුද්ධි සේවාව ප්‍රධානයි. ඊට පස්සේ යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා බුද්ධි අංශ තිබුණා. යුද හමුදාවේ බුද්ධි අංශය තමයි වඩාත් පලපුරුදුම බුද්ධි අංශ සේවාව. පසුව ත්‍රස්තවාදී විමර්ශන ඒකකය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබුණා. මේවා විමර්ශන ආයතන. බුද්ධි අංශ කියන්නේ වෙන දෙයක්.
නමුත් පසුගිය රජය හමුදා බුද්ධි අංශ වෙත වගකීම් දුන්නේ නෑ. ඉතින් ඔවුන් තොරතුරු සෙවීමට හෝ ඒවා විශ්ලේෂණය කිරීමට එක්වූයේ නෑ. ඒවා කළේ සී.අයි.ඩී. ටී.අයි.ඩී. හා රාජ්‍ය බුද්ධි සේවාවයි. ඔවුන් ප්‍රවීණ වන්නේ වෙනත් ක්ෂේත්‍රවලටයි.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී යුද්ධ කාලයේ බුද්ධි අංශවල විශේෂ කාර්යයක් කළේ ආරක්ෂක අංශ බුද්ධි හමුදාවයි. අපි ඔවුන්ව පුහුණු කළා. ඒක එක්වරම ඉවත් කර වෙනත් පාර්ශ්වයකට ලබාදීම අපහසුයි.
පළමු දෙය රජයේ ප්‍රතිපත්තියි. හැම දෙයක්ම රැඳෙන්නේ රජයේ ප්‍රතිපත්ති මතයි. දෙවැන්න වගකිවයුතු බුද්ධි අංශවල කාර්යභාරය මාරු කිරීමත් මේ සිදුවීමට (අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයට) හේතුවක් වුණා.
දැන් අපි හොඳ ආරක්ෂක ලේකම්වරයෙක් පත්කර තිබෙනවා. ඔහුට හොඳ පලපුරුද්දක් තිබෙනවා. මේ අංශ නැවත ප්‍රතිසංවිධානය කරන්න මම උපදෙස් දී තිබෙනවා. හැම බුද්ධි අංශයක්ම ඒකාබද්ධ කර තොරතුරු රැස් කරන්න උපදෙස් දී තිබෙනවා. ඔහු එය කරාවි.
අද බුද්ධි අංශ තොරතුරු හුවමාරු කර ගැනීම වැදගත් දෙයක්. බාහිර සංවිධානවල අපිත් කොටස්කරුවන් පිටත ආයතනවලින් තොරතුරු ලබා ගැනීම ඉතාමත් වැදගත්. ඉන්දියාව වගේ රටවල්වල දැනුම තාක්ෂණය, සම්පත් තිබෙනවා. ඔවුන්ට ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන දැනුම තිබෙනවා.ඒ නිසා අපි ඒ දැනුම, පලපුරුද්ද භාවිත කළ යුතුයි.
යුද සමයේදී අපට මුහුණදීමට තිබෙන තර්ජන විශ්ලේෂණය කරමින් ආරක්ෂක අංශවල විශාලත්වය නායකත්වය හා ආරක්ෂක අංශ විසින් තීරණය කළ යුතුයි. යුද්ධය කාලයේදී තිබුණ අවශ්‍යතාව අනුව අපි අපගේ හමුදාවල ශක්තිය වැඩි කළා.
යුද්ධය කාලයේදී වගේ පසුගිය කාලයේදී හමුදා වෙත සාමාජිකයන් බඳවාගැනීම සිදුකළේ නෑ. සංඛ්‍යාව වුණත් අඩුවෙලා තිබෙන්නේ. යුද්ධය කාලයේදී අපට හමුදා සාමාජිකයන් අවශ්‍ය වුණා. නමුත් අපට මේ දැක්ම වෙනස් ක්ෂේත්රවලට යොමු කරන්න පුළුවන්. විදේශ හමුදා ගත්තත් ඔවුන් ජාතික සංවර්ධනයට දායක වෙලා තිබෙනවා. ඇමෙරිකාවේ හමුදාව පවා ජාතික සංවර්ධනයේ වැදගත් ව්‍යාපෘතිවලට දායකත්වය දක්වනවා. අපි අපේ දැක්ම වෙනස් කරගත යුතුයි. ඔවුන් අවශ්‍යතාව අනුව භාවිත කළ යුතුයි.
මේ අවස්ථාවේදී අපි බුද්ධි අංශ ගැන අවධානය යොමු කරන්න ඕන. බුද්ධි අංශ නිලධාරීන් බඳවාගැනීම, තොරතුරු රැස්කිරීම, පුහුණු කිරීම වැනි කරුණු ගැන අපට මුහුණදීමට තිබෙන අවදානම අනුව සලකා බැලිය යුතුයි.

ආර්ථිකය
අපි අවධානය යොමුකළ යුතු ක්ෂේත්‍ර හඳුනාගෙන තිබෙනවා. කෘෂිකර්මාන්තය හා වැවිලි කර්මාන්තය ඉතාමත් වැදගත්. තවමත් අපේ රටේ තුනෙන් එකක් කෘෂිකර්මාන්තයේ යෙදී සිටිනවා. අපට කෘෂිකර්මය අමතක කළ නොහැකියි. ඇතැම් විදේශීය උපදේශකයන් කියනවා අපි වෙනත් වෙනත් අංශ ගැන අවධානය යොමුකළ යුතුයි කියලා. නමුත් මෙය අපගේ ඉතිහාසය හා සංස්කෘතිය සමග බද්ධ වී තිබෙනවා.
ලෝකයේ කිසිම රටකට ආහාර සුරක්ෂිතතාව ගැන අවාධානය යොමු නොකර ඉන්න බෑ. අපට පිටින් යැපෙන්න බෑ. මේ ක්ෂේත්රය අපි දියුණු කළ යුතුයි. මේ ක්ෂේත්රයට මම ප්‍රමුඛතාව දෙනවා.
බලයට පත් සෑම රජයක්ම ගොවීන් වෙනුවෙන් වැඩ කළා. නමුත් තවමත් ගොවීන් දුප්පත්. ඒ නිසා ඔවුන්ගේ දරුවන් කෘෂිකර්මයට යන්නේ නෑ. අපි මෙයට උදව් කළ යුතුයි. අද වනවිට ප්‍රමාණවත් තාක්ෂණයක් තිබෙනවා අඩු ආයෝජනයකින් වැඩ ඵලදාවක් වැඩි ආදායමක් ලබා ගැනීමට.
ජල කළමනාකරණය, පොහොර කළමනාකරණය, කාබනික පොහොර භාවිතය, හරිතාගාර, වාරිමාර්ග, ඵලදායි බීජ සොයාගැනීම, පර්යේෂණ වගේ දේවල් අපි කළ යුතුයි. ඒවා සංවර්ධනය කිරීම හරහා ගොවියාට උදව් කළ හැකියි. ඒ වගේම කෘෂිකර්මාන්තය ප්රමුඛ කර්මාන්ත ආරම්භ කළ යුතුයි.
මේ හරහා ගොවීන් ව්‍යවසායකයන් බවට පත්කළ හැකියි. ගොවීන්ගේ ඵලදාවෙන් 40෴ක් විනාශ වෙනවා. ඒ ප්‍රවාහනය, ඇසුරුම් කිරීම හා ගබඩාකරණයේ ගැටලු නිසා. මෙය වැළැක්වුවහොත් ගොවියන්ගේ ආදායම ඉහළ යනවා.
ගොවීන් තක්කලි වගා කරනවා. නමුත් මිල අඩුවුණාම ඔවුන්ට හොඳ ආදායමක් ගන්න බෑ. ඇයි අපට මේවායින් අගය එකතු කරන සෝස් වගේ නිෂ්පාදන කරන්න බැරි.
දීර්ඝ කාලයක් පුරා අපගේ ප්‍රධාන විදේශ විනිමය උපයන ක්ෂේත්‍ර වුණේ තේ, රබර්, පොල්. නමුත් දුර්වල කළමනාකරණය නිසා මෙය පහළට ගොස් තිබෙනවා. අපි ලෝකයේ ඉහළම ගම්මිරිස් හා කුරුඳු නිෂ්පාදනය කරනවා. අවාසනාවකට අපි අපේ රටේ තිබෙන දේවලුත් ආනයනය කරනවා. අපි මේවා වර්ධනය කර විදේශ විනිමය ඉතිරි කරගත යුතුයි. අපි අපනයනය කළ යුතු වන්නේ අගය එකතු කිරීමෙන්.
අපි තවත් වෙළෙඳ පොළ සොයාගත යුතුයි. ශ්‍රී ලංකාවේ තේ වෙනුවෙන් විශාල ඉල්ලුමක් තිබෙනවා. නමුත් තවත් රටවල් මේ වෙළෙඳ පොළට පැමිණ තිබෙනවා. අපි ප්‍රමාණයෙන් නෙමෙයි ගුණාත්වයෙන් යුත් නිෂ්පාදන ඉදිරිපත් කළ යුතුයි.
ගොවීන්ට අධ්‍යාපනය ලබාදීම වැදගත්. ඒ වගේම පොහොර භාවිතය ගැන ඔවුන්ව දැනුවත් කළ යුතුයි. අද වනවිට කාබනික ආහාර වෙනුවෙන් විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ ක්ෂේත්රවලට ගොවීන් යොමු කිරීමට අපි කටයුතු කළ යුතුයි.
අපේ ආර්ථිකය තාක්ෂණය භාවිත කිරීමෙන් දියුණු කිරිමට මම අවධානය යොමුකර තිබෙනවා. 21 වැනි ශතවර්ෂය කියන්නේ දැනුමේ ශතවර්ෂය. අපේ කර්මාන්ත පදනම විශාල නෑ. ඒක ඉහළ මට්ටමක නෑ. අපට තෙල්, ගෑස්, රිදී වගේ ස්වාභාවික සම්පත් නෑ.
නමුත් අපට පහසුවෙන් පුහුණු කළ හැකි මානව සම්පතක් තිබෙනවා. අද ආර්ථිකයේ කේන්ද්‍රය ආසියාව දෙසට යොමු වෙමින් පවතින්නේ. ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, ජපානය, චීනය මේ රටවල් සියල්ලම ඉදිරියට ඇවිල්ලා. මේ රටවල් තම රට දියුණු කරගෙන තිබෙන්නේ තාක්ෂණය තුළින්. අපට හොඳ අවස්ථාවක් තිබෙනවා. අපි එය මගහැරගත යුතු නෑ.
තොරතුරු තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය හොඳ අවස්ථා නිර්මාණය කරනවා. මෙයින් මුදල් උපයන්න පුළුවන්. අපි මේ ගැන ඉගැන්විය යුතුයි. මේ ගැන මම අවධානය යොමුකර තිබෙනවා. අධ්‍යාපනය ගැන විශාල අවධානයක් යොමුකර තිබෙනවා. මේ වෙනුවෙන් සෑම රටකම සහාය ලබාගත යුතුයි.
මම ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය ගැන අවධානය යොමුකර තිබෙනවා. මම සඳහන් කළ බොහෝ රටවල් අද වනවිට ඉහළ මැදි ආදායම් ලබන රටවල්. ඉන්දියාවේ සිට චීනය ගත්තත් මේ රටවල මිනිස්සු සංචාරය කරනවා. අපි ඔවුන්ව ආකර්ෂණය කරගත යුතුයි. අපි ප්‍රචාරණය කළ යුතුයි.
කෘෂිකර්මය, තාක්ෂණය, ධීවර, සංචාරක තමයි අපට පහසුවෙන්ම ඉක්මනින්ම සංවර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර. ඍජු විදේශ ආයෝජන වැදගත්. අපි ව්‍යාපාරිකයන් දිරිමත් කළ යුතුයි. මම හිතමින් ඉනනේ ලෝකයේ අධි තාක්ෂණික සමාගම්වලට ලංකාවේ ආයෝජනය කිරීමට අවස්ථා ඇති කිරීමට. අපට පහසුවෙන්ම පුහුණු කළ හැකි ඉහළ කුසලතාවන්ගෙන් යුත් මානව සම්පතක් සිටිනවා. ඒ නිසා මම හිතනවා එය ඔවුන්ටත් පහසුවක් වේවි ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේදී. මේ තමයි මම අවධානය යොමුකර තිබෙන ක්ෂේත්‍ර”