එක්සත් ජාතික පක්ෂයට අද වන විට පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කනගාටු වන අතර ආණ්ඩුවටත් ඒ වගේම සිරිකොත සුළු කල්ලියටත් අභියෝගයක්ව ඇත්තේ සමග ජන බලවේගය යැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම නායක හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පැවසුවේ ඊයේ (9) ගාල්ලේ දී පැවති සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ රැස්වීමකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක මහතා ,
අපි කනගාටු වෙනවා එක්සත් ජාතික පක්ෂය අද වන විට පත්වෙලා සිටින තත්ත්වය ගැන. ඊයේ සිරිකොතට කැඳවා තිබුණේ සිරිකොත ආරාධනා වෙන් රැස්වීමට සහභාගි වෙන්න කියලා ආරාධනා කරල තිබුණු වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක්. ඒකෙදි කරපු ප්‍රකාශය අපි දැක්කා. මේ මැතිවරණය තරග කරන්නේ පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය විතරයි කියලා ප්‍රකාශයක් කරනවා. ඇත්ත වශයෙන්ම අපිට ඒකෙන් පැහැදිලි උනා අද වන විට ආණ්ඩුවත් ආණ්ඩුව සමඟ හවුල් වී සිටින සිරිකොත සුළු කල්ලියත් එකතුවෙලා මේ මැතිවරණයේ මුහුණ දෙන හැටි.
ඇත්ත වශයෙන්ම සමගි ජන බලවේගය බිහි උනේ සිරිකොත දි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත්ත තීරණයකට අනුව තමයි සමගි ජන බලවේගය අපි බිහි කලේ. අද වන විට ආණ්ඩුවත් සිරිකොත සුළු කල්ලියත් මේ මැතිවරණ ව්‍යාපාරය දියත් කරන බව පැහැදිලියි. ඒ වගේම හැමෝටම අභියෝගයක් වෙලා තියෙන්නෙ සමගි ජන බලවේගයයි කියන එක ඉතාමත්ම පැහැදිලියි.
ඒ ගොල්ල සිහින ලෝකවල ඉඳල හිතන් දේවල් තමයි ප්‍රකාශ කරන්නේ. ඒකට හොඳම ප්‍රතිචාරය තමයි මේ ප්‍රකාශය. එය අවසන් වන විට සිරිකොත ආරාධනාවෙන් එම රැස්වීමට සහභාගි වෙලා හිටපු වෘත්තීය සමිති නායකයෝ දක්වපු ප්‍රතිචාරය රටම දැන ගත්තා. එක්සත් ජාතික පක්ෂය සමග සමගි ජන බලවේගය ට තරගයක් නැති මට්ටමට පත් වෙලා තියෙනවා යැයිද ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළේය.
