ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චිරාගත ආගමික වතාවත්වලට සීමා වෙමින් අද (20) සිය ජන්ම දිනය සැමරීය.
ජනාධිපතිතුමා අද උදෑසන අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියස පහන් දල්වා, කිරි ආහාර පූජාව පැවැත්වූ අතර පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ ආගමික වතාවත් සිදු කළහ.
අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කප්රුක් පූජාව සිදු කළ අතර, චෛත්‍ය මළුවේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය ද ඉටු කළේය.
රුවන්වැලි සෑය පරිශ්‍රයේ ඇති දුටුගැමුණු මහරජුගේ සහ විහාරමහා දේවියගේ පිළිරුවට මල්දම් පැළඳවීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.
චෛත්‍ය මළුවේ ඇති බුද්ධ මන්දිරය සහ දේවාල වෙත ද ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්හි නිරත විය.
මහා සංඝරත්නය උදෙසා උදෑසන දානමය පුණ්‍යකර්මය ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කර තිබිණ.
රුවන්වැලි චෛත්‍යාධිකාරී පූජ්‍ය පල්ලේගේම හේමරතන, අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගතැන්නේ පඤ්ඤානන්ද, මිහින්තලේ රජමහා විහරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන, අනුරාධපුර ලංකා විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති, නෙල්ලිකුලම පංචසතික විහාරාධිපති පුජ්‍ය අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි හිමිවරු ඇතුළු මහා සංඝරත්නය ඊට වැඩම කළහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පවුලේ ඥාතීහු, මැති ඇමතිවරු සහ හිතවතුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

