අවුරුදු 56ට ජයිකා ලංකාවට ඩොලර් බිලියන 8.8ක් දීලා
ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් සිය සහාය දෙන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ ජනරාල් සකමොතො තකෙමා මහතා (Sakamoto Takema) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි.
සකමොතො තකෙමා මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව පැවසීය.
නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී තමන්ට “ජයිකා” ආයතනය සමග එක්ව සංවර්ධන ව්‍යාපෘති රැසක් සාර්ථකව ක්‍රියාවට නැංවීමට හැකි වූ බව ජනාධිපතිතුමා සිහිපත් කළේය.
1965 වසරේ සිට සංවර්ධන ව්‍යාපෘති 120ක් සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනය දායකත්වය ලබාදී තිබේ. ණය පැකේජ, ව්‍යාපෘති ප්‍රදාන, ව්‍යාපෘති නොවන ප්‍රදාන ඇතුළු විවිධ ණය යෝජනා ක්‍රම යටතේ ඊට ලබාදී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 8829කි.
වර්තමානයේ “ජයිකා” ආධාර යටතේ සංවර්ධන ව්‍යාපෘති 14ක් දිවයින පුරා ක්‍රියාත්මක වේ. බලශක්ති, ජල සැපයුම් හා ජලාපවහන, වරාය, ප්‍රවාහන, සෞඛ්‍ය, විදුලි සංදේශ සහ ග්‍රාමීය සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් වූ මෙම සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ලබාදී ඇති සහනදායී ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2500කි.
මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පැහැදිලි කළ ජනාධිපතිතුමා කෘෂිකර්ම, නිපුණතා සංවර්ධන, සෞඛ්‍ය, වාරිමාර්ග යන ක්ෂේත්‍ර වෙනුවෙන් ඉදිරි වසර සඳහා “ජයිකා” සහාය අපේක්ෂා කරන බව පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

