වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත්‍ර නොමැති අලි පස්දෙනෙකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබ සිටි වනජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණීය හා ඇත්ගොව්වන් තිදෙනෙකු විත්ති වාචක නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් සාක්කි නොමැති බවට තීරණය කරමින් ඔවුන් සිවුදෙනා නිදහස් කළ විනිසුරු මඩුල්ල අලි රෝෂාන් ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කළේය.
ඒ අනුව විත්ති වාචක ඉදිරිපත් කිරීමට සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රෝෂාන් නමැත්තාට අමතරව වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්යක්ෂ (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි, සමරප්පුලි හේවගේ උචිත නිශාන් ධම්මික, පලිහපිටිය ගමගේ ජයලත්, යන වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ඇතුළු සිවුදෙනෙකුට නියම කෙරිණි.
නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් සාක්කි නොමැති බවට තීරණය කරමින් මෙලෙස නිදහස් කරන ලද්දේ වනජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණී එච්. පි‍්‍රයංකා සංජීවනී, ඇත්ගොව්වන් වන රණසිංහලාගේ දමිත් චතුරංග, කඩුපිටියගේ චන්දන කුමාර, සෂික චානුක ගම්ලත් නමැත්තන්ය.
වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත්‍ර නොමැති අලි පස්දෙනෙකු ළඟ තබා ගත් බවට චෝදනා කරමින් නීතිපතිවරයා පවරා ඇති නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි (සභාපති) ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
2014 ජුලි මසයත් 2015 අගොස්තු මාසයත් අතර කාලයේ මහරගම, ඇරව්වල, නාවල, බත්තරමුල්ල හා ඔරුවල යන ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් අය සමඟ එක්ව සොරකම් කළ අලි බව දනිමින් වංචනිකව එම අලි ජාවාරම් කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව අලි ජාවාරම් කිරීම, එම අලි නීතීවීරෝධී අන්දමින් ළඟ තබාගැනීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ අධිචෝදනා 33ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
අලි ජාවාරම්කරුවකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රෝෂාන් නමැත්තාට අමතරව වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්යක්ෂ (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි, වනජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණී එච්. පි‍්‍රයංකා සංජීවනී, සමරප්පුලි හේවගේ උචිත නිශාන් ධම්මික, කඩුපිටියගේ චන්දන කුමාර, සෂික චානුක ගම්ලත්, පලිහපිටිය ගමගේ ජයලත්, රණසිංහලාගේ දමිත් චතුරංග යන වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් අට දෙනෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් 08 දෙනාම අධිකරණයේ පෙනී සිටියහ.
පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී විත්තිකරුවන් සිවුදෙනෙකු නිදොස් කොට නිදහස් කළ විනිසුරු මඩුල්ල ලබන ජුලි මස 25 වැනිදා සිට විත්තියේ සාක්කි විභාගය ආරම්භ කිරීමට නියම කළේය.
