අයහපත් කාලගුණයෙන් ප්රදේශ රැසක ජනතාවට බලපෑම් එල්ල වී තිබෙනවා.
පහත් බිම් ජලයෙන් යටවීම හේතුවෙන් ඇතැම් ප්රදේශවල මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
ගාල්ල නගරයට පිවිසෙන මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ල වුණා. කරාපිටිය මාර්ගයේ හිරිඹුර සහ බද්දේගම අතරත් උළුවිටකේ ප්රදේශයත් ජලයෙන් යටවී තිබෙනවා. ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර බද්දේගම ජල මාපකයේ එය සටහන් වූයේ මීටර් හතරක් ලෙසයි.
බද්දේගම ගාල්ල මාර්ගයේ හෝලුවාගොඩ ප්රදේශය සහ අතුරු මාර්ග රැසක් ද ජලයෙන් යටවී තිබුණා. ගිං ගගේ වක්වැල්ල පාලම අසල සිරවී ඇති සුන්බුන් ඉවත් කිරීම නාවික හමුදාව මගින් සිදු කෙරුණා.
කැලණි ගඟේ ජල මට්ටමද ඉහළ ගොස් තිබෙනවා. හංවැල්ල ජල මාපකයේ ජල මට්ටම ඊයේ වනවිට මීටර් හය ඉක්මවා තිබුණා. ඒ හේතුවෙන් අතු ගංගාවල ජලය බැස යාමද ඉතා සෙමින් සිදු වන බවයි වාර්තා වන්නේ.
රත්නපුර කළු ගඟේ හංගමුව ගගේ ජල මට්ටම් තවදුරටත් ඉහළ ගොස් ව්යාපාරික ස්ථාන කුඩා තේ වතු සහ පතල් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. රත්නපුර සිට හංගමුව බට ඇදිරි කරවිට ප්රධාන බස් මාර්ගය අලු කැටිය ප්රදේශයෙන් තවමත් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. එම මාර්ගයේ සියලු ප්රවාහන කටයුතු මේ නිසා ඇණ හිට තිබෙනවා. රත්නපුර සිට කරන්ගොඩ රද්දැල්ල දිමියාව දම්ඹුලුවන ගිනිහිරිය යන ප්ර දේශවලට දිවෙන ප්රධාන මාර්ගයද ජලයෙන් යටවීම නිසා ප්රවාහන කටයුතු සිදු කෙරෙන්නේ නැහැ. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇලපාත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයටයි.
කළු ගඟ පිටාර ගැලීමෙන් බුලත් සිංහල ප්රදේශයේ ද ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. කුකුලේ ගගේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර ඉන් තත්ත්පරයට ඝන මීටර් 116 ක ජල ප්රමාණයක් කුකුලේ ගගට මුදා හරින බව කුකුලේ ගඟ ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළේය. කුකුලේ ගඟ පිටාර ගැලීමෙන් ද පහත් බිම් රැසක් යටවී ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.