අපි හිතනවා අයවැය ජනතාවට හොඳ වෙන්නෙ නැහැ. ජනතාවගෙන් ගන්න අයවැයක් බවට මෙය පත්වේවි. සහන හම්බවෙන්නේ නැහැ යැයි ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
“ගමින් පටන් ගමු” වැඩසටහන යටතේ ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ(11) තංගල්ල නගරයට පැමිණි අතර ඒ මහතා නගරයේ වෙළෙදසැල් වෙත ගොස් සිය ප්‍රචාරණ කටයුතු සිදුකළේය.
එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ටිල්වින් සිල්වා මහතා මෙසේද කීවේය.
“අයවැයේ හරය පිළිබඳව පසුගිය දවස්වල බැසිල් රාජපක්ෂ මහත්තයා කිව්වා. එතුමා කිව්වා දෙන්න දෙයක් නැහැ. ගන්න තමයි සිද්ධ වෙන්නෙ කියලා. මේ වෙලාවේ ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයක ඉන්නවා. රුපියල් හිඟයක ඉන්නවා. ඩොලර් හිඟයක ඉන්නවා. රජයේ ආදායම් මාර්ග බිඳ වැටිල තිබෙන්නේ. ඒ නිසා රජයට වියදම් කරගන්න බැරුව ඉන්න තත්ත්වයක් තුළ අනිවාර්යෙන්ම අපි හිතනවා අයවැය ජනතාවට හොඳ වෙන්නෙ නැහැ. ජනතාවගෙන් ගන්න අයවැයක් බවට මෙය පත්වේවි. සහන හම්බවෙන්නේ නැහැ.
තෙල් මිල වැඩි වීමක් ගැන ඉඟියක් තිබුණා. අන්තිමට ගම්මන්පිල මහත්තයා කිව්වා ඒකත් මුදල් ඇමතිතුමාටම බාර දෙනව කියලා. අයවැය ඉවර වුණ ගමන් තෙල් මිල වැඩි වෙන්නත් පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා අයවැයේ සහනයක් එන්නෙ නැහැ. අයවැය සම්බන්ධ ඉලක්කම් විජ්ජාවක් නෙවෙයි. අපේ රටේ මේ වන විට විශාලම විශාල මූල්‍ය අර්බුදයක් තිබෙනවා. රටට විදෙස් වත්කම් නැහැ. අවුරුදු ගාණක් තිස්සේ ණය අරගෙන ඒ ණය හොරාකාලා නාස්ති කරලා දැන් අපේ රටට සිද්දවෙලා තියෙනවා මහා පරිමාණයෙන් ණය පොළී වාරික ගෙවන්නයි. ගත්ත ණය ආපසු ගෙවන්නයි. ඒකට ආදායම් මාර්ග නැතිවුණාට පස්සේ ඒ බර පැටවෙන්නේ ජනතාව මත.
කෘෂිකර්මාන්තය බිඳ වැටෙනවා. කර්මාන්ත බිඳ වැටිලා. මාර්ග ඔක්කොම ඇහිරිලා තිබෙන්නේ. ආණ්ඩුවට මේ ගැන අවබෝධයක් නැහැ. ඇමතිවරු ඔක්කොම විෂයන් දන්න අය නෙවෙයි. ඒ නිසා රටක් ලෙස අගාධයට වැටිල තිබෙන්නේ. රට ලෝකෙට යටවෙලා තිබෙන්නේ. ලෝකයේ ප්‍රබල රටවල් ඇවිත් අපිට බලපෑම් කරමින් යනවා. අපි දැන් යටත් විජිතයක් වගේ වෙලා තියෙන්නේ. අපි වගේ රටක් මේ තත්ත්වයට පත්කරල තිබෙන්නේ මේ රට හදන්න ආව අයයි.
අයවැය ගැන හිතල වැඩක් නැහැ. පහුගිය කාලේ හදපු අයවැයවල් ඔක්කොම එකයි. මිනිසුන්ගෙන් කොල්ලකාපු අයවැයවල් තිබුනේ. මිනිස්සුන්ට යමක් කෙරුණේ නැහැ. අපි හිතනවා අපේ රටේ දේශපාලනයේ වෙනසක් සිද්ද වෙන්න ඕනෑ කියලා. අපේ රටට නිශ්පාදන කරන වත්කම් උපයන ආර්ථිකයක් ඕනෑ. එතකොටයි මේ ව්‍යාපාරවලට වුණත් පවතින්න පුළුවන් වෙන්නේ. එවැනි දේශපාලන සංස්කෘතියක් එවැනි ආර්ථිකයක් හදන්න අරමුණු කරගත්ත මහජන ව්‍යාපාරයක් හදන්න ඕනෑ.
රට ගොඩගන්න බැරි මට්ටමට වට්ටලා. ඒත් ගොඩගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. සමහරු රට ගැන විශ්වාසය බිඳ වැටිලා රට හැර යනවා. අපි හිතනවා රට දාල යන එක නෙවෙයි උත්තරය. මේ රට හදාගන්න ඕනෑ. අපේ දරුවන්ට වෙන රටක් නැහැ. අපි දරුවො වෙනුවෙන් හරි රට හදන්න ඕනෑ.
ජනතාව අයවැය දිහා බලන් ඉන්න එපා. දැන් ජනතාව තමන්ගේ අනාගත ඉරණම තමන් අතට ගන්න ඕනෑ. කවුරුත් එක්ක එකතුවෙලා මේ පාලනය වෙනස් කරලා අලුත් ජනතාවාදි පාලනයක් හදන්න පෙරමුණ ගන්න ඕනෑ” යැයිද කීවේය.